පසුගිය වසරේ මාර්තු මාසය කළු මාර්තුවක් බවට පත්වීමේ පළමු ගිනි පුපුර ඇවිලී ගියේ මහනුවරම උණුසුම් කරමිනි. දීර්ඝ කාලයක් තිස්සේ සිංහල, දමිළ, මුස්ලිම් භේදයකින් තොරව ජන විවිධත්වයම සංස්කෘතික සෞන්දර්යක් බවට පත් කරගෙන සිටි මහනුවර එක සැණෙකින් එහිදී දේශීය ජනතාවට හා විදේශිකයන්ට අනාරක්ෂිත ස්ථානයක් බවට පත්වූයේ ජාතිවාදයේ අසුන්දරත්වය විදහාපාමිනි.
එවැනි ගැටලු ඇතිවීම වළක්වා ගනිමින් ජාතීන් අතර පොදු ලාංකිකත්වයක් ඇති කරන්නේ කෙසේද යන්න කෙරෙහි අවධානය යොමු නොකර මෙම ගැටලුව විසඳිය නොහැක. බහුවාර්ගික රටක ජාතික සමගිය ගොඩනැගීමේදී අපට වැරදුණේ කොතැනද ? ඒ සඳහා කළ යුත්තේ කුමක්ද යන්න සම්බන්ධයෙන් කතිකාවතක් මෙහිදී ඇතිවිය යුතුය.
මේ පිළිබඳව දිගන, පිල්හැත, මහානාම හිමියන්ගෙන් අප විමසුවෙමු. මන්දයත් උන්වන්සේ දිගන රාජවාලුකාරාම විහාරයේ නායක ස්වාමීන් වහන්සේ වන අතර පසුගිය වසරේ මහනුවර සිදුවූ අවාසනාවන්ත සිදුවීම් මාලාව සියැසින් අත්විඳි නිසාම උන්වහන්සේට ඒ පිළිබඳ මනා අවබෝධයක්ද පවතී. මේ පිළිබඳ උන්වහන්සේ අප සමග අදහස් දැක්වූයේ මෙලෙසිනි.
සංස්කෘතික අනවබෝධය
දිගන නගරය 1993 ඉඳලා කිසිම ගැටුමක් සිදු නොවිච්ච නගරයක්. කිසිම ආකාරයක ජාතිවාදී ගැටුමක් මේ නගරය තුළ සිද්ධ වුණේ නෑ. මම දැනට රටවල් හතක විතර සංචාරයේ යෙදුණා. මේ ගැටලුව දකින විදිහ ගැන හිතන්න ඒක හරි උපකාරයක් වුණා. එක තැනකින් එළියට ගියාට පස්සේ ගැටලුව ගැන පේනවා. එතනදී ඇතිවුණේ සංස්කෘතීන් පිළිබඳව අනවබෝධයක්. මේක එන්න එන්නම වැඩි වෙනවා. ඉස්සර අපි එක පාසලකට ගියා. ඒක නිසා අනිත් අයගේ සංස්කෘතීන් ගැන දැනගත්තා. අද මේ සම්බන්ධතාව කැඩිලා. ඒ වගේම තමයි අද ජාතීන් වශයෙන් වෙන් කරන්න තියෙන ඉඩකඩ වැඩි කරලා තියෙනවා මිසක් එක් කරන්න තියෙන ඉඩකඩ අඩුයි. ජනවර්ග පදිංචි වෙන්නේ ස්වභාවයෙන්ම ඒ භාෂාව කතා කරන ඒ සංස්කෘතියේ අයත් එක්ක. නමුත් මිශ්‍රකර මේ ජන කොටස් එකට ගොනු කරන්න රජයට වැඩසටහනක් නෑ. සෞඛ්‍යයෙන් එකතු වෙච්ච ගතියක් දැනට තියෙනවා. ඉස්පිරිතාලේ ඉන්නකොට එහා පැත්තේ ඇඳට වෙලා ඉන්නවා. බෙහෙත් ගන්න පෝලිමේ ඉන්නකොට මුණගැහෙනවා. ඒ හැර ඔක්කොම හදලා තියෙන්නේ වෙන් කරන වැඩසටහන්.
අමාත්‍යාංශ ගත්තත් වෙනස් නේ. බෞද්ධ අමාත්‍යාංශ, ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශ, මුස්ලිම් අමාත්‍යාංශ. එක ආගමික අමාත්‍යාංශයක් වුණා නම් මේක එකතු කරන්න ලේසියි. ඒවා ඉතින් දේශපාලන වාසි තකා ඇති කරලා තියෙන අමාත්‍යාංශ බවට පරිවර්තනය වෙලා තියෙනවා. මේ ගැටුම නිරාකරණය කරන්න නම් ඊට වැඩිය දෙයක් සිදුවෙන්න ඕන.
අනෙක් එක තමයි සංස්කෘතික අනවබෝධය. ඒක අධ්‍යාපනයේ ඉඳලම ඇතිවෙලා තියෙනවා. අපිට දෙන්න තියෙන පණිවිඩය තමයි අඩුම ගානේ අධ්‍යාපනයේදී පහේ පන්තිය දක්වාවත් එකට වැඩ කරන්න ඕන කියන තැනකට ගේන්න පුළුවන් නම් පුංචි විසඳුමක් වෙයි. ඒවා ඉතින් ක්‍රියාත්මක කරන්න අමාරු මට්ටමක් තියෙනවා. නමුත් හැකි නම් ගොඩක්ම හොඳයි.
දැනටමත් මේ සමාජේ ගැටගැහිලා තියෙන්න හේතුවක් තමයි මේ පැරණි මුස්ලිම් අය හා සිංහල අය අතර සබඳතාව. අපිට වුණත් හරි සතුටුයි ඒගොල්ලෝ බොහොම පිරිසුදුවට කතා කරනවා “හාමුදුරුවනේ“ කියලා. අපේ සංස්කෘතිය ඔවුන් හොඳට අඳුරනවා. ගමේ හැමෝම එක්ක හොඳට ජීවත් වෙනවා. ඉතින් ඒක බාධාවක් නෙවෙයි. පරණ මිනිස්සු හරිම මිත්‍රශීලීයි. සංස්කෘතිය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. අපිට මුස්ලිම් අයගේ සංස්කෘතිය ගැනත් හොඳ අවබෝධයක් තියෙනවා.
සංස්කෘතික වෙනස්වීම
ඒක එක කාරණාවක්. ඊළඟට සංස්කෘතීන් බලෙන් තනි වෙන්න යන එක. දැන් යම් ජන කොටසක් තනි වෙන්න යනවා නම් අපි විතරයි කියලා ඒක එක ලක්ෂණයක් බවට පත් වෙනවා. ඉස්සර එහෙම වුණේ නෑ. මේ රට නිදහස් කරගන්නකොට ඔක්කොම එකතු වුණා. දැන් ඒ තත්ත්වේ නෑ. ජන කොටස් තනි වෙන්න හදන ස්වභාවය තියෙනවා.
දේශපාලනික වශයෙනුත් ගත්තම විවිධ පක්ෂ. ජනවර්ගයට අනුව පක්ෂය ගොඩනැගෙනවා. කොතැනක හැදුවත් මේක එහෙම හදන්න බෑනේ. පොදු ප්‍රතිපත්ති ටිකක් එක්ක හැදුනොත් මං හිතන්නේ අපිට එකතු වෙන්න පුළුවන්. දැන් මේ විසඳුම ගන්නවා නම් ගන්න තියෙන්නේ හැමෝම එකතු කරලා.
මෑත කාලේ ගත්තම මේ වේගයෙන් වෙනස් වෙන්න, තනිවෙන්න හැදීම හේතුවෙන් සිදුවන්නක් තමයි ඒ අයගේ භාෂාව පමණක් කතා කිරීම. භාෂාව පිළිබඳ හැමෝටම අවබෝධයක් තියෙන්න ඕන. අපි දැන් පිරිසක් එක්ක ඉන්නකොට ඒ අයට ප්‍රධාන භාෂාව කතා කරන්න පුළුවන් වුණත් ඔවුන්ගේ භාෂාවෙන් ඔවුන් කතා කරනවා. නිදහස තියෙන බව ඇත්ත. නමුත් එතනදී ඒකත් ගැටලුවක්. වෙන භාෂාවක් කතා කරනකොට ඉබේම අපි එතනින් වෙනස් වෙනවා. කතා කරන්නේ මොනවද කියලා අවබෝධ කරගන්න බෑ. මං කියන්නේ සිංහලම කතා කළ යුතුයි කියන එක නොවෙයි. නමුත් අපිට භාෂාමය ප්‍රශ්නයකුත් නැතුවා නෙවෙයි.
ඉස්සර අපේ අම්මලා ඔක්කොම එකට හිටියා. මුස්ලිම් අයට තිබුණේ සාරි පොට ඔළුවට දාගන්න එක විතරයි. නමුත් වේගයෙන් මේ වෙනස්වීම කියන එක ඇවිල්ලා දැන් සමහරු මූණ වහගන්නවානේ. මනුෂ්‍යයෙකුගේ මූණ පේන්නේ නැති එක කාටත් අවාසි සහගතයි.
දැන් ඇත්තටම අපි ආහාර ගත්තම හැම මනුස්සයෙකුටම අාහාර සමාන වෙන්න ඕනනේ. පිරිසුදු වෙන්න එපැයි. ඒකට SLS කියලා ප්‍රමිතියක් තියෙනවා. ඒකෙ දුර්වලතාවක් තියෙනවා නම් ඒක හදාගන්නේ නැතිව ජාතීන් අනුව වෙන වෙන ක්‍රම ගේන්න ගියාම ඒවත් දැන් සමාජයේ වෙනත් ප්‍රශ්නවලට බලපානවා. සෞඛ්‍ය සම්පන්න ක්‍රමයක් වෙන්න පුළුවන්. නමුත් අපේ සංස්කෘතියට අනුව ඒක හිතන්න බෑ. මේවා එකට හිටපු සමාජයක් වෙනස් වෙන්න බලපාපු සාධක.
නාගරීකරණය
නාගරීකරණයේදී එක් ජන කොටසකින් වැඩි පිරිසක් නාගරීකව ගොඩනැගෙනවා. ඒක නිසා මොකද වෙන්නේ මේ ගැටුම්කාරී තත්ත්වයන් නගරවලට කේන්ද්‍රගත වෙනවා. දැන් නගරවලට සංක්‍රමණය වන පිරිස නගරයේ වැඩි භුක්තියක් ඇති පිරිස බවට පත්වෙනවා. එතකොට ඒ තුළත් තව කණ්ඩායමක් ඈත් වෙනවා. නගරයේ අපි විතරයි. ආගම අපි විතරයි. අපිට පේනවා අපේ අය විතරයි ඉන්න ඕන කියන සංකල්ප ටිකක් ජනිත වෙලා ඒ ඔස්සේ යනවා. ඒකත් එක්කලා මේ අනිත් සමාජයට මුහුවෙන්න තියෙන අවස්ථාව අඩුයි. ව්‍යාපාරිකයෝ ගත්තම මුහුවෙන්න තියෙන අවස්ථා හරිම අඩුයි. එතකොට ගැටුමක් නිර්මාණය වෙනවා. මේ හැමෝම එක සමාන මට්ටමක එක තලයක එක විදිහක් යටතේ රජයකින් ක්‍රියාත්මක කරන්න ඕන මට්ටමක් තියෙනවා නම් ගොඩාක් හොඳයි. අපිට එහෙම පාලනයක් නෑ.
නීතියේ සමානාත්මතාව හා ඒ සම්බන්ධ ගැටලු
වෙන රටවල්වලට ගියාට පස්සේ අපිට තේරෙනවා එතනදී ජාතිකත්වයට නැගිටින්න ඉඩදීලා නෑ කියලා. ඔක්කොම එක සමානයි. නීතියෙන් තමයි ඒ සමාන කිරීම කරලා තියෙන්නේ. කාටවත් ඒ නීතිය කඩාගෙන යන්න බෑ. තර්ජනය කරන්න බෑ. කාටවත් හිංසා කරන්න බෑ. ඉතින් අපේ රටවල්වල ඒවා නෑ. හැබැයි අර රටවල්වල ඉඳලා තමයි මානව හිමිකම්, ජාතීන් දිහා බලන්නේ.
ඉඩම් අයිතිය ගත්තත් මේ රටේ එය එක විදිහක් නෙවෙයි. එක එක පළාත්වලට එක එක නීති තියෙනවා. දැන් ඒ විතරක් නෙවෙයි. උතුරට ගිහින් කෙනෙකුට ඉඩමක් ගන්න බෑ. එක එක නීති තියෙනවා. විවාහ නීතිය වෙනයි. විවාහ නීතිය ඔක්කෝටම සමාන වෙන්න ඕන.
දැන් මගෙන් අහන්නේ ඇයි ගැටුම් ඇතිවෙන්නේ, එහෙම ඇතිවෙන්න හේතු මොනවාද කියලනේ. එතකොට මේවා සමාජගත වෙනකොට අනිත් සමාජයේ මේක ක්‍රියාත්මක වෙන විදිහ වෙනයි. ආගමික වශයෙන් ඔවුන්ට නිදහස තියෙනවා තමන්ගේ ආගම අදහගෙන ඉන්න. නමුත් අනවශ්‍ය විදිහට ආගමික නීති සමාජ නීති බවට පත්වීම වළක්වා ගන්න ඕන. දිගින් දිගටම එය කරන්න කරන්න මේ තත්ත්වය වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නම් නෑ කියලායි මං හිතන්නේ. යම් මට්ටමකට හේතු සාධක හොයනවා නම් ඒ හේතු අයින් කරන්න කටයුතු කරන්න වෙනවා. ඒවා තමා මේ වගේ ප්‍රශ්න අඩු කර ගන්න කළයුතු දේවල් කියා මං හිතන්නේ. මේ රටේ නීති , ආගමික නීති දෙක එකට යනතාක් කල් මේක ගැටෙනවා. අවසානයේ එක නීතියක් යටපත් වෙලා ආගමික නීතියක් උඩට එන්න පුළුවන්. එතකොට ඒ නීතිය නිසා නිතරම ගැටුම් ඇතිවෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
අධ්‍යාපනය සම්බන්ධ ගැටලු
අධ්‍යාපනයේදී මේ පිරිස බෙදිලා ගිහිල්ලා. වෙන සංස්කෘතීන් පිළිබඳව අවබෝධයක් නෑ. මේවත් එක්ක බලනකොට ඉස්සරහට මේවා ලිහාගන්න තියෙන පාරවල් ඔක්කොම වැහිලා තියෙන්නේ. සිංහල ,මුස්ලිම්,දෙමළ ප්‍රජාව ගැන හරියටම බලන්න ඕන . දැන් අපි බලනවා. බලන්නේ වෙන් කරලා. කවදාකවත් එය හරියන්නේ නෑ. රජයෙන් පාසලක් දානවා නම් ප්‍රතිපත්තියක් එන්න ඕන මේකට දෙමළ , මුස්ලිම්, සිංහල සියලුම අය පැමිණිය යුතුයි කියලා. වෙන රටවල මිනිස්සු එක පාසලේ ඉගෙන ගන්නවා නම් ඇයි අපිට බැරි? රාජ්‍ය ප්‍රතිපත්තියක් හැටියට දෙමළ, මුස්ලිම්, සිංහල කියලා වෙන් කරන්නේ නැතුව ගමට හොඳ පාසල් හදලා භාෂාවන් පවා ඉගෙන ගන්න ඕන. එකට ගැටුණා නම් අඩුම ගානේ වචන 10-15ක් වත් එකිනෙකා අතර භාවිතා වෙනවානේ. අපිට භාෂාවක් දියුණු කරගන්න අවස්ථා නෑ. එකට ගැටුණා නම් ඒක හරියනවා. අධ්‍යාපනයෙන්ම තමයි හැමදේම වෙනස් කරනවා නම් කරන්න තියෙන්නේ.
දැන් සියලුම ජාතීන් මේ පන්සලට එනවා. මෙහෙ හැදුවා කාර්යාල පද්ධතියම. ඔක්කොමලා මෙහෙට එන්න ඕන. මොකද ඇවිල්ලා යනකොට තමයි තේරෙන්නේ මේක ඇතුළේ මොනවත් ආයුධ හදන්නේ නෑ කියලා. මෙහෙ හිටියාම තේරෙනවා මේවා තියෙන්නේ මිනිස්සුන්ට හොඳ දේ කියලා දෙන්න කියලා. අපේ අයට දැන් පල්ලිය සැක වුණාට පල්ලියට ගියාම තමයි තේරෙන්නේ අනේ ඒකෙත් මොකුත් නෑ කියන එක පිළිබඳව. පහුගිය අවුරුද්දේ සිදුවූ සිදුවීම් පිළිබඳ අපිටත් හරිම කනගාටුයි. ඒ සිදුවීම් තරහට කළාට ජාතියක් හැටියට සිංහලයෝ සංවිධානය කරලා කරපු එකක් නෙවෙයි. පල්ලියටත් යන්නැති, කෝවිලටත් යන්නැති, පන්සලටත් යන්නැති කණ්ඩායමක් ඉන්නවා. හරියට පල්ලි යන කෙනාට, පන්සල් යන කෙනාට, හරියට දෙවියන් අදහන කෙනාට හිංසාවක් කරන්න බෑ. දෙවියෝ කියලා නෑනේ හිංසාවක් කරන්න කියලා. ඉතින් ආගමෙන් තොර වෙච්ච කණ්ඩායමක් සමාජය තුළ ඇතිවෙලා තියෙනවා.
අන්තවාදී කණ්ඩායම් මේ වගේ සිදුවීම් ඇති කරන්න උත්සාහ ගන්නවා. දේශපාලන වාසි ගන්න බලනවා. මේ සෑම දෙයක් අතරම තමයි ජාතික සමගිය පවත්වාගන්න වෙන්නේ.
බලය සඳහා මිනිස්සු ආගම යොදාගන්නවා. ජාතිය යොදා ගන්නවා. ඉතින් මේවගෙන් මේ අයව ගලවගන්න පුංචි කාලේ ඉඳලා ප්රබුද්ධව හිතන්න පුළුවන් පරිසරයට ඇළුම් කරන සමාජයත් එක්ක එකට ජීවත් වෙන පිරිසක් නිර්මාණය කරන්න ඕනේ. ඇත්තටම විවිධත්වය හරිම ලස්සනයි. සංස්කෘති ගණනාවක් තියෙන එක හරිම හොඳයි. ඉතින් ඒවා මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්නේ කොහොමද? සමගිය ඇතිවෙන්න දෙන්නේ නෑ. ප්‍රශ්නේ යටගහලා වෙනස් කරලා. ඒ වගේ තත්ත්වයනුත් යමක් ඇති වෙනකොට බලපානවා කියන එක මං හිතන්නේ බුද්ධිමත්ව බලනකොට තේරෙනවා.
වෙනත් වැඩසටහන් මේ හැම එකක් යටතේම තියෙනවා කියලා අපට හිතෙනවා. ඉතින් ඔය කාරණා ටික තමයි වර්තමානයේ මම දකින්නේ හේතු විදිහට. ඉතින් මේ ගොල්ලෝ වෙනස් කරන්න නම් අධ්‍යාපනයේ ඉඳලා අපිට ගොඩාක් ලොකු ගමනක් යන්න වෙනවා. සැකයක් එක්ක තියෙන පුංචි වචනයක් , පොඩි සිදුවීමක් මේ හැම දෙයක්ම අනිත් පැත්තට පෙරළලා තියෙන්නේ. ඔය ටික හදාගන්න ක්‍රමවේදයට අපිට තොරතුරු හොයාගන්න පුළුවන් නම් ඉතාම වැදගත් වෙනවා.