කාලයක් පුරා එක් දරු ප්රතිපත්තියක සිටි චීනය මීට දෙවසරකට පෙර දරුවන් දෙදෙනෙකු සඳහා යම් සීමාවකට යටත්ව අවසර ලබාදෙන ලද අතර, දැන් එම ප්රතිපත්තියද ලිහිල් කරමින් පවුලකට දරුවන් තිදෙනෙකු හිමිකර ගැනීමේ අවස්ථාව ලබාදීමේ ඉඟියක් පළ කර තිබේ.
චීන දින දර්ශනයට අනුව එලැඹෙන 2019 පෙබරවාරි මාසයේදී උදාවන සූකරයාගේ වසර සැමරීම වෙනුවෙන් නිකුත් කෙරුණු ප්‍රීතිමත් පවුල විදහා දැකිවෙන මුද්දරයක සූකර මව හා පියා ඇසුරේ සිටින සූකර පැටවුන් තිදෙනෙකු දක්නට ලැබෙයි.
මේ දසුනත් සමග චීනයේ සමාජජාල මාධ්‍ය තුළ මේ සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් ඇති වී තිබෙන අතර, ඔවුන් වැඩිදෙනෙකු පවසන්නේ මීට දෙවසරකට පෙර එකදරු ප්‍රතිපත්තිය අහෝසි කරමින් දරුවන් දෙදෙනෙකුට චීන රජය අවසරය ලබාදෙන අවස්ථාවේදී වඳුරාගේ වර්ෂය සඳහා නිකුත් කෙරුණු මුද්දරයේ වඳුරු පැටව් දෙදෙනෙකු දක්නට ලැබුණු බවයි.
කෙසේ වෙතත්, ආරම්භයේදී දරුවන් දෙදෙනෙකු සඳහා යම් යම් සීමා පැනවූවද, මෑතක් වනවිට දරුවන් දෙදෙනෙකු හදාවඩා ගන්නා දෙමවුපියන්ට විවිධ දිරිගැන්වීම් ලබාදීමටද චීන රජය කටයුතු කරමින් සිටියේ අධ්‍යාපන හා නිවාස සහන සලසමිනි.
චීනයේ එක්දරු ප්‍රතිපත්තිය හඳුන්වාදෙනු ලැබුවේ වර්ෂ 1979 දීය. කෙසේ වෙතත්, 2015 දී එය අහෝසි කෙරුණත් කාලයක් පුරා එක් දරුවෙකුට සීමාවූ ජාතියක් දරුවන් දෙදෙනෙකු වෙත හෝ යෑමේ උදාසීනබවක් පෙන්වා ඇති බව චීන මාධ්‍ය පෙන්වා දෙයි. ඒ අනුව, මේ ආකාරයෙන් ප්‍රීතිමත් පවුල ලෙස දරුවන් තිදෙනෙකු වෙත චීන ආණ්ඩුව කිසියම් අයුරකින් දෙන ඉඟියක් ලෙස බොහෝ දෙනා මෙය හඳුනාගෙන තිබේ.