ඉන්දියාව තුළ තවදුරටත් අනාචාරයේ හැසිරීම අපරාධයක් නොවන බවට ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දු කළේය.
එහිදී, යම් පුරුෂයෙකු විවාහක කාන්තාවක් සමග ඇගේ ස්වාමිපුරුෂයාගේ අවසරයකින් තොරව එක් වන්නේ නම් ඔහු අනාචාරයේ හැසිරීම යන සාපරාධී ක්‍රියාව සිදුකර ඇති බවට යටත්විජිත සමයට අයත් වසර 158ක් පැරණි නීතියේ සඳහන්ව තිබුණි.
කෙසේ වෙතත්, මෙම නීතිය බලාත්මක වූ දින සිට කොපමණ ඉන්දීය පුරුෂයන් පිරිසක් මෙම වරද සම්බන්ධයෙන් අධිකරණය හමුවට පැමිණියේ දැයි පැහැදිලි නොමැති බව එරට මාධ්‍ය කියයි.
ඉතාලියේ වාසය කරන ඉන්දීය ව්‍යාපාරිකයෙකු වන 41 හැවිදිරි ජෝසෙෆ් ෂයින් පසුගිය අගෝස්තු මාසයේදී මෙම නීතියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.
එහිදී, අදාළ නීතියට අභියෝග කරමින් පෙත්සම්කරු තර්ක කළේ එයින් කාන්තාවන්ට සහ පුරුෂයන්ට අත්තනෝමතික සහ වෙනස් කොට සැලකීමක් සිදුවන බවය.
ඒ අනුව, "දික්කසාද වීම වැනි සිවිල් නඩුවකට හේතුවක් ලෙස මෙය යොදා ගත්තත්, අනාචාරයේ හැසිරීම අපරාධයක් වන්නේ නෑ" යැයි නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ඉන්දීය අගවිනිසුරු දීපක් මිශ්රා පැවසීය.
කෙසේ වෙතත්, ඉන්දියාවේ වත්මන් පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය මෙම පෙත්සමට විරුද්ධ වී ඇති අතර, අනාචාරයේ හැසිරීම නීතියට අනුව සාපරාධී ක්‍රියාවක් විය යුතු බව ආණ්ඩුවේ මතය වී තිබේ.
රජය වෙනුවෙන් කරුණු දැක්වූ නීතීඥයා පවසා සිටියේ, "අනාචාරයේ හැසිරීම සම්බන්ධයෙන් පවතින නීති අවලංගු කළොත් විවාහයක පිරිසිදු බවට කැළලක් ඇති වෙනවා. අනාචාරයේ හැසිරීම නීත්‍යනුකූල කළ විට විවාහ බන්ධනයට බාධා ඇතිවෙනවා. ඉන්දීය සම්ප්රදාය තුළ විවාහයේ පිරිසිදු බවට අති විශාල වැදගත්කමක් හිමිවෙනවා" යනුවෙනි.
ලෝකයේ වෙනත් රටවල් සලකා බැලීමේදී ඉස්ලාමීය නීතිය යටතේ අනාචාරයේ හැසිරීම තහනම් වන අතර, ඉරානය, සෞදි අරාබිය, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, බංගලාදේශය සහ සෝමාලියාව තුළ මෙය සාපරාධී ක්‍රියාවක් ලෙස සැලකෙයි.
එමෙන්ම, ලොව බොහෝ රටවල් මෙන් ශ්‍රී ලංකාවේ නීතියට අනුවද අනාචාරයේ හැසිරීම සාපරාධී ක්‍රියාවක් ලෙස නොසලකන නමුත්, එය දික්කසාද වීමට හැකි කරුණු තුන වන අනාචාරය, ද්වේශසහගත අතහැරයාම හෝ අනුමිත ද්වේශසහගත අතහැරයාම සහ ලිංගික බෙලහීනතාව යන කරුණු තුනෙන් එකකි.