නිවසක ප්‍රධාන දොර කියන්නේ අතීතයේ සිටම ගෘහ නිර්මාණ ශිල්පයේ ඉතා වැදගත් අංගයක්. ජ්‍යෝතිෂය හෝ වාස්තු යන පාරභෞතික කාරණා ඇසුරෙන් සැලකුවත්, අලංකාරය හෝ මතුපිට ආකර්ෂණය පිළිබඳව නූතනවාදීව සැලකුවත් නිවසේ ප්‍රධාන දොරට හිමිවන්නේ විශේෂ වැදගත්කමක්. 

තාක්ෂණය කොපමණ දියුණු වුවත් අද වනවිටත් නිවසක උළුවහු සහ දොරවල් නිර්මාණය වීමේ තාක්ෂණය එක සමානයි. උළුවහු නොමැති ‘pivot’ආකාරයේ දොරක් හැරෙන්නට උළුවස්සට සරනේරුවලින් දොර සවි වීමේ සම්ප්‍රදායික ක්‍රමවේදය තමයි අදටත් වඩාත් ජනප්‍රිය. 

ඇතැම් විට ප්‍රධාන දොරටත් වඩා ප්‍රධාන උළුවස්ස සම්බන්ධයෙන් තමයි නිවැසියන්ගේ සේම වඩු කාර්මික ශිල්පීන්ගේ වැඩි අවධානය යොමු වන්නේ. නිවසේ අනෙක් දොර උළුවහුවලට වඩා ප්‍රධාන දොර සහ උළුවස්ස සම්බන්ධයෙන් දැඩි භක්තියක් සහ උවමනාවක් දක්වන්නේ එය නිවැසියන්ගේ ජීවිතවල සාර්ථකත්වයට විශේෂයෙන් බලපාන බවට ජ්‍යෝතිෂයේ හෝ වාස්තු ශාස්ත්‍රයේදී විශ්වාස කරන නිසයි. කොස්, මිල්ල, පලු, වෑවරණ, කැටකෑල වැනි කිරි ගසක ලීවලින් නිවසේ ප්‍රධාන උළුවස්ස සෑදීමේ සම්ප්‍රදාය අදටත් බොහෝදෙනා විශ්වාස කරන කරුණක්. එමෙන්ම දෙවියන් හා සම්බන්ධ ‘නා’, ‘මී’ වැනි ලීවලින් නිවසක උළුවහු සාදන්නේ නැති බවටද පැරණි විශ්වාසයක් පවතිනවා.

මේ කෙසේ වෙතත් නූතන නිවාස සංස්කෘතියේදී උළුවහු සඳහා තේක්ක, කෙම්පස් වැනි ලී සහ දොරපියන් සඳහා මහෝගනී ලී බහුලව භාවිත වන නමුත් එවැනි නිවසක් සාදන කෙනෙක් පවා ප්‍රධාන දොර සම්බන්ධයෙන් පෙර කී සාම්ප්‍රදායික ක්‍රම අනුගමනය කරන ආකාරය තවමත් දකින්න පුළුවන්. 

කෙසේ වෙතත් මේ කුමන ලී විශේෂය භාවිත කළත් අතීතයේදී තරම් වෙළෙඳ පොළෙන් ලැබෙන ලී වේළා පදම් වී නොමැති බැවින්, අවම වශයෙන් ප්‍රධාන දොර සහ උළුවස්ස වෙනුවෙන් යොදන ලී පමණක්වත් අනිවාර්යෙන් පදම් කර කෘමීන්ට බලපෑම් කළ නොහැකි ලෙස දැව ආරක්ෂක ‘wood preservatives’ ආලේප කිරීමට මතක තබා ගන්න.

නූතන නිවසක ප්‍රධාන දොර වන මෙහි දෙපසින් උළුවස්සක් මෙන් ලී රාමුවක් ඇතිමුත් එය නිර්මාණය සහ දොර නතර වීම සඳහා පමණක් නිම වූවකි. Pivot ක්‍රමයට සකස් කර ඇති මෙවැනි දොරකට උළුවස්සක් අවශ්‍ය නොවන අතර, දොර වහලයේ කොන්ක්‍රීට් එකට සහ පොළොවට සවි වී තිබේ. 

පැරණි විශ්වාසයට අනුව ප්‍රධාන දොර මුහුණලා ඇති දිශාව, එහි උස පළල, ඊට භාවිත කරන ලී විශේෂ, උලුවහු තබන සුබ වේලාව ආදී බොහෝ සාධක ගෘහ මූලිකයාට සේම නිවැසියන්ටත් විශේෂයෙන් බලපාන බවට විශ්වාසයක් පවතී. නූතන නිවාස සංස්කෘතියට අනුව ප්‍රධාන දොරේ අලංකාරය සහ ආකර්ෂණය මගින් අමුත්තන්ට නිවැසියන් පිළිබඳ පළමු තක්සේරුව ඇතිවන්නේ යැයි කවුරුත් දනී. ඒ නිසා ප්‍රධාන දොර නිවසකට ඇති කරන බලපෑම සුළුකොට නොසැලකිය යුතුයි. 

විශාල පිවිසුම් දොරක අලංකාරය පෙනීම සඳහා එම දොර සහ නිවසට පිවිසෙන අවකාශයේ විශාලත්වය (දුර සිට පෙනෙන ගතිය) ඉතාම වැදගත්ය. 

Antique දොර උළුවහු නැවත භාවිතයට ගැනීම කාලයක සිට නූතන ගෘහ නිර්මාණ සම්ප්‍රදායේ එක්තරා ජනප්‍රිය අංගයකි. මේවා යාපනය, ඉන්දීය, පකිස්තාන ආදී වශයෙන් විවිධ නිමවුම්වලින් ඇති අතර, මෙම දොරට හෝ උළුවස්සට උසට සහ පළලට ගැළපෙන ලෙස නව නිවසේ උළුවහු කවුළුව සාදාගැනීමට, බිත්ති බැඳ ගැනීමට සිදුවේ. කොහොඹ, පලු, වැනි ලීවලින් නිමවා ඇති මෙම දොර උළුවහු ඝනකමින් සහ බරින් වැඩි වීම හේතුවෙන් සවිකිරීම හා මෙහෙයවීම සරල නොවේ. 

පැරණි උසස් කුලවල නිවෙස්වල ප්‍රධාන දොර ඇතැම්විට මෙම ආකාරයෙන් ලී වර්ග කිහිපයකින් රටා මැවෙන ලෙස නිමවා තිබේ. එය බොහෝ විට නිවසට එන අමුත්තන්ට නිවැසියන් ගැන මහේශාක්‍ය හැඟීමක් ඇති කිරීමට ගත් උත්සහයකි. 

නූතන සුඛෝපභෝගී නිවෙස්වල පහත මහල අඩි 13-15 පමණ උසක් සිටින සේ නිර්මාණය වේ. ඒවායේ ප්‍රධාන දොර එතරම් උසකට සෑදීම ප්‍රායෝගික නොවන බැවින් එම සමස්ත කොටස විවිධාකාරයෙන් නිර්මාණශීලීව අලංකාර කෙරේ. 

ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කළ ඊනා ද සිල්වා නිවසේ ප්‍රධාන පිවිසුම් දොර. 

සටහන සහ ඡායාරූප / මාලක වැලිගොඩපොල

0 comments

Leave a Reply

Post Comment