මේ දිනවල පැතිර ය කෝවිඩ් -19 වෛරස් රෝගයෙන් ආරක්ෂා වීමට  ඖෂධ  නොමැති නිසාම අපගේ අවධානය විය යුත්තේ ප්‍රතිශක්තිය ඉහළ දමා ගැනීම පිළිබඳවය. අපි ගන්නා ආහාරපාන මගින්ද ප්‍රතිශක්තිය ඉහළ දමාගත හැකි බැවින් ඒ පිළිබඳව අප මානව පෝෂණවේදය පිළිබඳ මහාචාර්ය රේණුක සිල්වා මහතාගෙන් මෙලෙස අදහස් විමසූවෙමු. ඒ මහතා දැක්වූ අදහස් මෙසේය.

''අපේ  ශරීරය ආරක්ෂා කරන පද්ධතිය නැතහොත් අපව ලෙඩ රෝගවලින් ආරක්ෂා කරන පද්ධතිය වනුයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියයි.  අපගේ ශරීරයට ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ඇතිවන බලපෑම්, නැතිනම් අපේ ශරීරයට ක්ෂුද්‍ර ජීවීන් ඇතුළු වී අපේ ශරීරයේ යම් යම් කොටස්වලට හානි කරමින් වර්ධනය වීම වළක්වන්නේ මේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුළින්. ඇතැම් වෙලාවට අපේ ප්‍රතිශක්තිය ලබාදෙන මේ පද්ධතිය අසාර්ථක වීම සිදුවෙනවා. එය බොහෝ වේලාවට සිදුවන්නේ වෛරස් නිසායි.

මෑතක සිට ඇතිවී තිබෙන කොරෝනා වෛරසය ඊට එක් උදාහරණයක්. නමුත් අපි බැලුවොත් වෛරස්වලට හැමෝම ගොදුරු වෙන්නේත් නැහැ. ඇතැම් අයගේ ශරීරයන්ට අනෙක් අයගේ ශරීරවලට වඩා ආරක්ෂාවක් සපයා ගැනීමට හැකියාවක් ලැබී තිබීම එයට හේතු වෙන්නට පුළුවන්. නමුත් යම් වෛරසයකට එරෙහිව එක් වරම අපේ ශරීරයට සටන් කිරීමේ හැකියාවක් තිබෙනවා යැයි අපිට කල් ඇතිව කියන්න අමාරුයි. නමුත් ඒ රෝගය දරුණු තත්ත්වයකට යා නොදී වළක්වා ගැනීමට ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයන්ට හැකියාවක් තිබෙනවා.

මේ දවස්වල බහුලව කියැවෙන දෙයක් තමයි ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්නට යම් යම් දේවල් ආහාරයට ගැනීම සුදුසුවන බව. ඒ අනුව අපේ කෑම වර්ගවලින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරගත හැකිද? යන්න පිළිබඳව අවධානය යොමුකිරීම වටිනවා. 

අපේ ශරීරයේ ක්‍රියාකාරීත්වයට සෘජුවම සම්බන්ධ වන ඇතැම් පෝෂණ සංඝටක තිබෙනවා. ඒවා තමයි ‘සින්ක්’, ‘සෙලීනියම්’ වැනි ඛනිජ, ‘යකඩ’, ‘කොපර්’, ‘විටමින්’ වර්ග වන ‘විටමින් ඒ’, ‘විටමින් බී’, ‘විටමින් ඊ’ හා ‘විටමින් සී’ යන සංයෝගත්, ෆෝලික් අම්ලයත් ප්‍රතිශක්තිකරණ පද්ධතියට සෘජුවම සම්බන්ධ වෙනවා. නමුත් මෙම සංඝටක සෘජුවම ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑම් කරන බවට පරීක්ෂා කර ඇත්තේ සතුන් යොදා සිදුකළ පරීක්ෂණවලිනුයි. ඉතින් හරියටම මිනිස්සුන්ගේත් ප්‍රතිශක්තිකරණය මේ සංඝටකවලින් ඉහළ දැමිය හැකිද යන්න පිළිබඳව අපිට කිව නොහැකියි. නමුත් ‘විටමින් ඒ’, ‘විටමින් සී’ වගේ දේවල් අපේ ආහාරවල බහුලව අඩංගු වෙනවා. ඒ නිසා එළවළු හා පලතුරුවලින් ලොකු කාර්යක් සිදුවන බව කිව හැකියි. සැමවිටම ඖෂධ ලෙස නොව ස්වභාවික එළවළු හා පලතුරුවලින් මෙම විටමින් හා සංඝටක ලබාගැනීම නුවණට හුරු වෙනවා.

මීළඟට අපිට නැගෙන ගැටලුවක් වන්නේ අත්බෙහෙත් නැත්නම් ශාකමය සංඝටකවලින් ප්‍රතිශක්තිය වැඩි කරනවාද යන්නයි. ඇතැම් රටවල්වල කොත්තමල්ලි, ඉඟුරු වගේ දේවල් ඖෂධීය පාන ලෙස භාවිත කරනවා. නමුත් මේ ඖෂධීය පාන දිනපතා පාවිච්චි කරන්න කියලා කොහේවත් සඳහන් වෙන්නේ නැහැ. මෙම ඖෂධ අපේ පලපුරුද්ද හා අත්දැකීම් මත ගුණදායක බව දන්නා නමුත්, ඒවා උවමනාවට වඩා පාවිච්චි කළ යුතු නැහැ. ඒ නිසා දිනපතා කොත්තමල්ලි බීම හෝ දිනපතා වෙනිවැල්ගැට තම්බා බීම සිදුනොකළ යුතුයි. එවැනි අත්බෙහෙත් දිනපතා පාවිච්චියට ගන්නේ නම් ඒ පිළිබඳ දැනුම ඇති ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් නිර්දේශ ලබාගත යුතුයි. 

ඒ වෙනුවට එකම වර්ගයේ නොවන විවිධ කොළ වර්ගවලින් සකස් කරගත් කොළ කැඳ පානය කිරීම යෝග්‍ය වෙනවා. එවිට අපේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ප්‍රශස්ත මට්ටමේ පවත්වා ගතහැකි වෙනවා. අවසාන වශයෙන් අපගේ මානසික පීඩනය පාලනය කරගැනීම තුළින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රශස්ත මට්ටමෙන් පවත්වා ගැනීමට හැකියාවක් ලැබෙන බව කිව හැකියි. ආහාර වලට අමතරව දුම් බීමෙන් තොර වීම ව්‍යායම්වල යෙදීම හෝ ඇඟ වෙහෙසා වැඩ කිරීම තුළින්ද අපට නිරෝගී දිවි පෙවෙතක් ගතකළ හැකියි.

  • නියමිත උස හා බර පවත්වා ගැනීම.
  • මද්‍යසාරවලින් තොරවීම හා මද්‍යසාර භාවිත කරන අයෙකු නම් නිර්දේශිත උපරිම මට්ටම ඉක්මවා නොයෑම.
  • ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම.
  • ආතතියෙන් තොර වීම.
  • පිරිසුදුව ජීවත් වීම යන සෞඛ්‍ය පුරුදුද අනුගමනය කිරීම ඉතාමත්ම වටී.

නදීෂානි පතිරණ

 

0 comments

Leave a Reply

Post Comment