කට ඇති පුතාත්, රුව ඇති දුවත් සම්පතකැයි එදා ගැමි වහරේදී පැවසුවද කටත්, රුවත්, උගත්කමත් ඇති කාන්තාවන් අතර ඇයට හිමිවනුයේ සුවිශේෂි තැනකි. ඒ ඇය තම  ක්‍ෂේත්‍රයන් තුළ කෙටි කාලයත් තුළ දක්වා ඇති දක්ෂතා හේතුවෙනි.  ආචාර්ය ප්‍රදීපා සී.ජී. බණ්ඩාරණායක වන ඇය phd(Davis) /MSc(Davis) ,   Mphil(PDN),  MSc(PDN), BSc.Agric (PDN) මේ වනවිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ කෘෂිකර්ම ජෛව තාක්ෂණ මධ්‍යස්ථානයේ මුල් පුටව වන අධ්‍යක්ෂ ධුරය දරමින් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙසද සේවය කරයි.

මම උපන්නේ මහනුවර කුණ්ඩසාල ප්‍රදේශයේ. ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ දම්බරාව කනිෂ්ඨ විද්‍යාලයෙන්. එයින් පස්සේ වලල රත්නායක ජාතික පාසලටත්, අනතුරුව උසස් අධ්‍යාපනය ලැබීම සඳහා මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයටත් ඇතුළත් වුණා. කොහොමහරි අවසානයේ මම කෘෂිකර්මය තෝරා ගත්තා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට ඇතුළත් වී අධ්‍යාපනය ලැබුවා.

මම විශ්වවිද්‍යාලයෙන් 2002 වර්ෂයේදී එළියට පැමිණියා. ඒ අතර මට ආසියානු සංවර්ධන බැංකුවෙන් ශිෂ්‍යත්වයක් ලැබුණා. අනතුරුව මට කෘෂි දෙපාර්තමේන්තුවේ පැළෑටි සහ ජාන තාක්ෂණ ආයතනයේ පර්යේෂණ සහකාර ලෙස තාවකාලික පදනම යටතේ රැකියාව ලැබුණා. එයින් පසු මම 2003 ස්ථිර සේවය සඳහා භෝග විද්‍යා දෙපාර්තමේන්තුවට  එකතු වුණා.

මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය උදා වන්නේ 2005 වර්ෂයේදී. ඒ ඇමෙරිකාවේ 'පූල්බ්‍රයිට්' ශිෂ්‍යත්වය ලැබීම නිසයි. ලංකාවේ මෙන්ම ලෝකයේ ලැයිස්තුවෙන්ද මම එහිදී පළමු තැන හිටියා. මම කැමතිම විශ්වවිද්‍යාලය ලෙස එතෙන්දී කැලිෆෝනියාවේ 'ඩේවිස්' විශ්වවිද්‍යාලය තෝරා ගත්තා. ඒ වෙනකොට මම 'එම්පිල්' එකයි 'එම්එස්සී' එකයි සම්පූර්ණ කර තිබුණේ. ඒත් ඇමෙරිකාවේදී එම විශ්වවිද්‍යාලයේ ක්‍රමවේදය අනුව නැවතත් 'එම්එස්සී' එකයි 'පී.එච්ඩී' එකයි කළා. මට කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් විවිධ ශිෂ්‍යත්ව මගේ රිසර්ච් වෙනුවෙන්  ලැබුණා. එහිදී 'පුල්බ්‍රයිට්' විශ්වවිද්‍යාලය හොඳම ප්‍රතිඵල දිහා විතරක් නෙවෙයි. ඔවුන්  ශිෂ්‍යයාගේ විෂය බාහිර ක්‍රියාකාරකම්වල ඇති දක්ෂතා ගැනත් බලනවා.

මම හැමදේටම දක්ෂයි. කතාවටත් දක්ෂයි. ක්‍රීඩාවටත් ඒ වගේමයි. මලල ක්‍රීඩා කළා. පිහිනන්නත් මම දක්ෂයි. සංගීතය නැටුම් වගේ දේටත් දක්ෂයි. ලියන දේවලටත් ඒ වගේමයි. ඉගෙන ගන්තත් දක්ෂයි. ඒ නිසා පුල්බ්‍රයිට්වලදී මම කැපී පෙ‍ෙනන චරිතයක් වුණා.
මට මනාලියන් අන්දවන්න පුළුවන්. මගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් හැම ඩෙකරේෂන් එකක්ම කරගත්තෙත්, ඇඳුම් මසා ගත්තෙත් කේක් හදාගත්තෙත් මම. රසට උයන්නත් පුළුවන්. අම්මාගේ උපාසක දානය දවසට වුණත් පනහකට උයන්න මැදිහත් වන්නේ මම.
2013 වර්ෂයේ සිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජෛව තාක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරනවා. සම්මුඛ පරීක්ෂණයට පැමිණ සිට අය අතරින් ළාබාලතමයා මමයි.

මේ පත්වීම භාර ගන්නා විට යම් අය විවිධ  අදහස් දැක්වූවා. ඇතමුන් සුබ පැතුවා වගේම සමහරු අධෛර්ය වනදේත් කිව්වා. ඔබ ළාබාලයි. මෙවැනි තනතුරක් දැරීමට තවම මුහුකුරා ගොස් නැහැයි සමහරු කීවා. යහපත් අදහස් භාරගත්තා. අද අංශ ප්‍රධානී පුෂ්පකුමාර මහත්මයායි එදා භෝග අංශයේ හිටියේ. එතුමා මාව දිරිමත් කළා.

මම මෙතැනට පත්වෙනකොට මෙතැන ඉතා අඩු මුදලක් තිබුණේ. එය දැන් මිලියන ගණනාවක් දක්වා මම ගෙනවිත් තිබෙනවා. මගේ පුහුණු දේශන ගාස්තු වෙනුවෙන් වෙන්කෙරෙන ප්‍රතිපාදන පවා ලබානොගෙන  විශ්වවිද්‍යාලයට මම පරිත්‍යාග කරනවා. මගේ වැටුප පමණයි ලබාගන්නේ.

මගේ ගෘහ ජීවිතය හරිම සරලයි. ගෙදර ලස්සනට පිළිවෙළට තියාගන්න ආසයි. මගේ මහත්තයා එතෙන්දී මට වඩා ඉදිරියෙන්. එයා ක්ලීන් කරන්න හරිම දක්ෂයි. දරුවාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් එයා ගතකරන එක මට පහසුවක්. අපිට ගෙදර වැඩට සේවකයෝ නැහැ.

පෙම් සබඳතාවයකින් 2008 වරෂයේදී විවාහ වුණා. එයා ට්‍රිනිටි විද්‍යාලයේ. මගේ මල්ලිලා දෙන්නගෙන් එක්කෙනෙකුගේ යාළුවෙක්. අපේ ගෙදර ආවා ගියාට කතාබහක් තිබුණේ නැහැ. එයත් අධ්‍යාපනය සඳහා ගොස් සිටියදී මට ඇමෙරිකාවේදී හමුවුණා. එයා දැනට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරනවා. තවත් විශේෂත්වයක් තියෙනවා. එයත් මමත් අපි දෙන්නාම එකම රෝහලකදී එකම දවස පැය දෙක තුනක වෙනසකින් ඉපදිලා තියෙන්නේ.

මම පීඑච්ඩී එක 2010 අවසන් කළා. එම පමාව නිසා මට විවාහයත් චුට්ටක් පමාවෙන්න ඇති. අධ්‍යාපනයේ යෙදීමේ අවශ්‍යතාව නිසා පළමු දරුවා ලැබීමත් ටිකක් පමා කළා. අධ්‍යාපනයේ අවාසාන ඉලක්ක වෙනුවෙන් මම ඒ පරිත්‍යාගය කළා. පුතා මහනුවර ට්‍රිනිටි විද්‍යාලයේ ඉගෙන ගන්නවා. සිසුන්ගේ රිසර්ච් ඇතුළු නිතර අධීක්ෂණය කළ යුතු දේ රැසක් තියෙනවා. ප්‍රමුඛතාව අනුව මෙතන කළ යුතු දේ කරනවා. ඉතිරිවන ටික ගෙදර ගෙනගිහින් කරනවා. උදේ හතේ සිට මම මෙතැන රාජකාරිය පටන් ගන්නවා.  මාස තුනක් ලැබෙන නිවාඩුවට විදේශ ගතවෙනවා. 

මගේ දියුණුවේ සහ සාර්ථකත්වයේ රහස අධිෂ්ඨානය, පරිත්‍යාගය සහ කැපවීමයි. වෛද්‍යවරයෙකු වීමේ මුල් ඉලක්කය වැරදුණා කියලා මම කනගාටු වුණා. ඒත් පසුබැස්සේ නැහැ. මම ඊළඟ විසඳුම් සොයා ගත්තා. අනෙක අපි යමක් ඉලක්ක කළත් ඒ සමග අපට වඩාත් ගැළපෙන තවත් ඉලක්කයක්, බැක්අප් එකක් හැටියට තියාගන්න ඕනෑ. ඒ නිසයි මම විවෘත විශ්වවිද්‍යාලයේ මැනේජ්මන්ට් එක තෝරා ගත්තේ. මම ඒකෙ ඩිප්ලෝමාව ඉවර කළා. දැන් උපාධිය කරනවා.

මම කියන්නේ ලැබිලා තියෙන දේ ගැන විතරක් නෙවෙයි. ලැබෙන්නට තියෙන යහපත් අවස්ථාවන් ගැනත් හිතන්න කියන එකයි. සමහරවිට මගේ පියා එදා ඒ ලකුණු දෙක තුනක් නිසා මට අහිමිවූ වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් මම විදෙස් විශ්වවිද්‍යාලයකට යැවුවා නම්  මම අද වෛද්‍යවරියක් කියලා හිතෙනවා. මට විදේශගත සිටි කාලයේ ලෝකයේ‍ ජෛව තාක්ෂණය පිළිබඳ විශාලතම සමාගම වන 'මොන්සැන්ටෝ' සමාගමේ  සේවය කළා. එම තාක්ෂණික දැනුම මට තවත් අලුත් දැකීමක්. මට වෛද්‍යවරියක් වීමට නොහැකිවීම ගැන අදටත් මම  කනගාටු වෙනවා. ඒත් එක් තැනක කොටු වුණාට වඩා අද ඇවිත් තැන දිහා බලපුවාම මේ ආ ගමන හොඳයි. මගේ මහත්තයා මගේ හිත හදනවා.

එක ලකුණක් දෙකක් නිසා කෙනෙකුගේ හැකියාවන් දක්ෂතාවන් සහ කැමැති අංශයක් තෝරා ගැනීමේ අවස්ථාව නැතිවෙනවා කියන එක මේ රටේ උසස් අධ්‍යාපනය ලබන බහුතරයක් පත්ව ඇති ඛේදවාචකයක් හැටියටයි මම දකින්නේ. මම ලබා ඇති ජයග්‍රහණ සම්මාන ඇගයීම් සහ සිදුකර ඇති පර්යේෂණ පිටු ගණනාවක් ලිවිය හැකියි. මම හොඳම පර්යේෂකයාට හිමි සම්මානයෙන්ද පිදුම් ලැබුවා. 1997 සිට 2011 කාලය තුළ ඉහළ උපාධි පහක් සහ එක් ඩිප්ලෝමාවක් හදාරා තිබෙනවා.
මගේ සම්මාන කිහිපයක් මතක් කරන්නම්.

  • -Nationl Awards For Excellence in Agricultural research-2019 –second price in non-plantation sector
  • -Organization for Women in Science for the Developing World (OWSD) Fairly Career Fellowship -2019
  • -Annual Research Excellence Award Faculty of Agriculture University of Peradeniya-2018-Senior lectures(Category II) 
  • -Endeavour Research Fellowship-from the Austraalian Government -2018
  • -Cochran Fellowship 

සාකච්ඡා සහ ඡායාරූප - ලාල් ජයසුන්දර

0 comments

Leave a Reply

Post Comment