සුන්දර කඳුකරයට සැලසුම් කරන සංචාරයකදී පේරාදෙණිය මල්වත්ත කාටත් කියැවෙන සුන්දර තැනකි. අක්කර සිය ගණනාවක පැතිර පවත්නා භූමියක විවිධ වූ කාර්යමණ්ඩලයේ සිය ගණනක් සහ ගහ කොළ පැළෑටි දසදහස් ගණනක් සමගින් එම රාජකාරියේ පරිපාලන මුල් පුටුව පැවරී ඇත්තේද කාන්තාවකටය. ආචාර්ය අචලා අත්තනායක නම් වූ ඇය  Bsc(Hons), Msc, Phd (Hongkong) දැනට පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධිකාරීවරිය ලෙස මුල් පුටුව දරයි. 

බදුල්ල උපන් ගම කරගත් මගේ අප්පච්චිගේ නම අත්තනායක. ඔහු අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික කොට්ඨාස අධ්‍යාපන නිලධාරියෙකු ලෙස බදුල්ල සහ වත්තේගම අධ්‍යාපන කාර්යාලයන්හි සේවය කළා. අම්මා මල්ලිකා පද්මිණී අත්තනායක. එයා බණ්ඩාරවෙල විශාකා බාලිකා විද්‍යාලයේ සහ එයින් පසුව මහනුවර ඇන්තනීස් පාසලේ ඉගැන්වීම් කළා. මට සහෝදරියන් දෙන්නයි. මම නුවර ඇන්තනීස් බාලිකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවා. ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා හයවන ශ්‍රේණියට මහමායා බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා.

උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සිටියදී අසනීප වුණා. ඒත් ඊළඟ අවුරුද්දේ  විභාගයට පෙනී හිටියා. උසස් පෙළ සමත් වී පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යා පීඨයට ඇතුළත් වුණා. සාමාන්‍ය පෙළ සිට උද්භිද විද්‍යාවට කැමැත්තක් ඇතිවුණා. 1986 පමණ උපාධියට ලිව්වා. ප්‍රතිඵල එනතුරු කළයුත්තේ කුමක්දැයි හිතන්න තරම් එදා රටේ තිබුණු තත්ත්වය භයානකයි. භීෂණය ව්‍යාප්ත වෙමින් තිබුණා. කැම්පස් පටන් ගන්න එකත් භීෂණය නිසා අවුරුදුපතා පමා වුණා.මම 10 වන ශ්‍රේණියේ පමණ සිට පොත් කියවීමට නැඹුරු වුණා. අතට ලැබෙන  හැම පොතක්ම කියවන්නට පටන් ගත්තා. එනිසා ගෙදරට වී ගතකරන  ජීවිතය අමිහිරි බවක් ඒ කාලයේ දැනුණේ නැහැ. 

විශ්වවිද්‍යාලය පටන් ගන්නා තෙක් ගෙදර ඉන්න ගමන් එක එක රැකියාවන්ට අයදුම් කළා. ඒ අතර විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි පාඨමාලාවක් කළා. මට අවශ්‍ය වුණේ නිවැරදි ලිඛිත කථනය සඳහා ඉංග්‍රීසි දැනුම දියුණු කරගන්නයි. ඒ අතර මට පෞද්ගලික බැංකුවක රැකියාව ලැබුණා. එහි කොළඹ කොටුව සහ සුපිරි බැංකුවේ කටයුතු කර අවසානයේ මහනුවර ශාඛාවට එනවා. මම ලබාගත් ඉංග්‍රීසි දැනුම මට මේ අවස්ථාවේ විශාල අනුබලයක් වුණා. ඒ දවස්වල භීෂණය නිසා කාර්යබහුලයි. ඒත් ස්ටාෆ් එකේ තිබුණෙ පුදුම යුනිටි එකක්. එනිසා අපි ටීම් එකක් හැටියට රාජකාරිය කළා. ඒ පුරුද්ද මට අදටත් තියෙනවා. දැන් වුණත් මම බලන්නේ ඒ ආදර්ශය මගේ රාජකාරියට ගළපන්න.

 ඒ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යාව හැදෑරීමට අවස්ථාව ලැබුණා. මම සිංහල, ඉංග්‍රීසි මධ්‍ය දෙකෙන්ම පැවැති දේශනවලට සහභාගි වීමෙන් එකකින් ගිලිහෙන දෙයක් අනික් දේශනයෙන් කවර් කළා. නෝට්ස් නැවත බලා නොතේරෙන තැන් ඒ සතිය තුළ නැවත නිවැරදි කරගත්තා.  ඒ ආදර්ශය අදටත් මම මගේ රාජකාරිය තුළ පාවිච්චි කරනවා. මගේ මේසය උඩ එන යන ලියුම්  ඒ කියන්නේ ඉන් අවුට් ට්‍රේ දෙක නිතරම හිස් කරන්නයි බලන්නේ.1994දී Bsc විභාගය Special Degree in Botany සමත් වීමෙන් පසු මම විශ්වවිද්‍යාලයේම සහකාර කථිකාචාර්ය තනතුරකට පත්වෙනවා. අවුරුද්දකට ලැබුණු එම අවස්ථාව මට තවත් අවුරුද්දකින් දිගු වෙනවා. මම 1995දී පෙම් සබඳතාවක් මත විවාහ වෙනවා. ඔහු වෛද්‍යවරයෙක්. කුණ්ඩසාලේ පොලිස් රෝහලේ සේවය කළ ඔහු කෑගල්ල, රාගම වගේ රෝහල්වලත් කලක් සේවය කළා. දැන් කොළඹ හමුදා මූලස්ථානයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරනවා. මම  විවාහයෙන් පස්සෙ තාවකාලිකව යෙදුණු කථිකාචාර්ය තනතුරෙන් ඉවත්ව කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ රැකියාවකට යනවා.

1996දී ලොකු පුතා හරිඳු සත්සර ලැබෙනවා. පුතා බලාගත යුතු නිසා රැකියාවෙන් ඉවත් වී නුවරට ආවා. චූටි පුතා ජනිඳු දම්සර ලැබුණාට පස්සෙ මම නැවත විවෘත විශ්වවිද්‍යාලයේ රැකියාවට යනවා. මධ්‍යම පරිසර අධිකාරියෙත් 2000දී රැකියාවක් ලැබුණා. ඒත් එතැන රැකියාවෙන් මම කෙටි කලකින් ඉවත් වුණා. පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂ සුමිත්‍රආරචිචි මහත්මයාගෙ කාලයේදී මට උද්‍යාන ආරක්ෂක තනතුර ලැබෙනවා. ඒ කියන්නෙ මල්වත්තෙ පාලකයා හෙවත් උද්‍යාන අධිකාරී කියන වගකීම එතැන තිබුණේ. එම වටපිටාවත් මගේ රැකියාවට තිබුණු ආශාව වැඩි කළා. ඒ ඒ ආයතනවලට ගොස් මේ වැඩකටයුතු සොයාගෙන අධ්‍යයනය කර ඉගෙන ගන්න යැයි සුමිත්‍ර ආරච්චි මහතා සහ උපාලි ධනසේකර මහත්වරු අපට මඟපෙන්නුවා. 2004 හග්ගල මල්වත්තට මාරුවක් ලැබුණා. ඒ අතර එම්එස්සී උපාධිය පටන් ගත්තා. ඒ වනවිට අධ්‍යාපනයෙන් ටිකක් ඈත්ව සිටි නිසාත්, රැකියාව කරන ගමන්ම කළයුතු නිසාත් දරුවන්ගේ කටයුතු සමග තරමක  අපහසුවක් දැනුණා. දරුවන් අම්මා ළඟ. හස්බන්ඩ් කොළඹ. මම නුවර. 2005දී Msc,  in Plant Science  සමත් වුණා.

එතැන් සිට පීඑච්ඩී එකට සූදානම් වුණා. හොංකොං විද්‍යාලයට ගියා. මහාචාර්ය සෝන්ඩර්ස් යටතේ අධ්‍යයනය කටයුතු කළා. එහිදී හොස්ටල් හමුවනතුරු මහාචාර්ය කරුණාදාස යුවළ අවශ්‍ය පහසුකම් සපයා දෙමින් දුන් සහයෝගය අමතක කරන්න බැහැ. එතැන වැදගත්කම එයට පෙර ඔවුන් මා දැන හඳුනාගෙන නොතිබුණත් ඔවුන් තුළ තිබුණු ඒ කරුණා ගුණයයි. හොංකොංවල තිබුණු එක් විශේෂත්වයක් නම් අපි දවල්ට වැඩ කරනකොට පර්යේෂණ කරන වැඩි දෙනා දවල් නිදි. අපි රෑට නිදාගන්නකොට ඒ අය රසායනාගාරයට ඇවිත්  පර්යේෂණවල යෙදෙනවා. ඒ දවස්වල නෙදර්ලන්තය, පැරීසිය, ස්වීඩන්, ඩෙන්මාර්ක් වැනි රාජ්‍යයන්හි සංචාරයටද අවස්ථාව ලැබුණා. 2010දී Phd in plant systematics and reproductive biology-University of Hongkong  සමත්ව ලංකාවට ඇවිත් මල්වත්තෙ කටයුතුවල යෙදෙනවා. සතුටෙන් කරනවා.

සංචාරකයන් සතුටු කිරීම, අධ්‍යාපනය සඳහා තොරතුරු ගවේෂකයන්ට අවශ්‍ය දැනුම සැපයීම දේශීය විදේශීය සංචාරකයන්ට අවශ්‍ය උපරිම පහසුකම් සැපයීම ගැන මම නිරතුරු අවධානයෙන් කටයුතු කරනවා. ඒ වගේම මෙහි ගුණාත්මක ප්‍රමිතිය වෙනුවෙන් මගේ කාර්යමණ්ඩලය සමග නිතර යොමු වෙනවා. 

සාකච්ඡා සහ ඡායාරූප - ලාල් ජයසුන්දර

0 comments

Leave a Reply

Post Comment