පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන වේගවත්ව අලුත් දිශානතියක් ඔස්සේ සිදු කරමින් තිබෙන බවත්, මෙම විමර්ශන ක්‍රියාත්මක වන විට පිරිසක් දැඩි ලෙද කලබල වී තිබෙන බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ‘අද’ පුවත්පතට පැවසීය.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු ස්වේච්ඡාවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමට නියමිත බවත්, ඔහු සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට සමග කටයුතු කළ පුද්ගලයෙකු බවත් හෙතෙම සඳහන් කළේය.
ඒ අනුව විමර්ශන කටයුතු ක්‍රියාත්මක බවත්, මීට අමතරව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පිල්ලෙයාන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා පැවසීය.එහිදී වැඩිදුරටත් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
“පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ දිගටම යනවා. අවුරුදු 06ක පරණ එකක්නේ දැන්. අපි පරීක්ෂණ අලුත් විදියට පටන් අරන් තියෙනවා. ඒ අනුව විමර්ශන කරගෙන යනවා. ආරංචි හැටියට අදත් කෙනෙක් භාරවෙන්න එනවා.
පිල්ලෙයාන් ළඟ හිටිය කෙනෙක්. එයත් එක්ක වෙන සිද්ධි වලට සම්බන්ධ වෙලා තියෙනවා. මේක කිව්වම අනිත් අය ගිහින් වළක්වනවා. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්නේ මොකක් හරි කියන්න තියෙන නිසානේ. විමර්ශනවලට බාධා වෙන ඒවා තමයි වෙන්නේ එළියේ.
ගම්මන්පිල ගිහින් හොයනවා මොනවා හරි කිව්වද කියලා පාස්කු එක සම්බන්ධයෙන්. බයවෙලා ගිහින් හොයනවානේ මොනවාද කිව්වේ කියලා. හිටපු ජනාධිපති රනිල් කෝල් කරනවා එයාගේ පරණ දුරකථන අංකයෙන් පී.එස්.ඕ.ගේ. ඒ කියන්නේ රනිල්ගේ පී.එස්.ඕ. කතා කරනවා පිල්ලෙයන්ට කතා කරන්න ඕනෑ කියලා. ඒත් සී.අයි.ඩී. එක අවසර දෙන්නේ නෑනේ. මෙහෙම කවදාවත් වෙලා නෑනේ. ඇයි එච්චර කලබල වෙන්නේ? විමර්ශන කරගෙන යන්න දෙන එක තමයි අපි හැමෝගේම වගකීම.
ඇත්තම කිව්වොත් විමර්ශන සිදු වෙද්දි කට්ටියක් හොඳටම කලබල වෙලා. නැත්තන් උදය ගම්මන්පිල මාධ්‍ය සාකච්ඡා තියලා මෙයා ඇඬුවා කියලා කියන්නේ නෑනේ. අපි දන්න විදියට අඬලත් නෑ. ගම්මන්පිල ඇවිල්ල අඬනවා එළියේ. මම සී.අයි.ඩී එකෙන් ඇහුවා ඇඬුවද කියලා. නෑ එහෙම අඬලා නෑ. නිලධාරීන් එතන හිටියා. පිල්ලෙයාන්ගේ නීතිඥවරයා කියපු නිසා තමයි එයා හම්බවෙන්න දුන්නේ.
නීතිඥයාට ඉඩකඩ දෙන්න ඕනැනේ හම්බවෙන්න. නිර්දෝෂී භාවය ඔප්පු කරන්නත් ඉඩකඩ දෙන්න ඕනෑ. අපිට කවුරුවත් ටාගට් කරගෙන විමර්ශන කරන්න ඕනැ නෑනේ. සාධාරණ හේතු නැත්තන් තියාගන්න හේතුත් නෑ. නැගෙනහිර උපකුලපති සම්බන්ධයෙන් ලැබුණු තහවුරු වුණු තොරතුරු අනුව මෙයා අත්අඩංගුවට ගත්තේ.
දැන් විවිධ තොරතුරු එමින් තිබෙනවා. තොරතුරු එනකොට පාස්කු එකට කියලා වෙනම අල්ලන එකක් නෑනේ. මේ ගැන විතරක් නෙවෙයි තව කිහිපයක් ගැන තොරතුරු එමින් පවතිනවා. ඒ තොරතුරු දෙන අය ගැනත් හොයන්න ඕනෑ. තොරතුරක් ලැබුණ ගමන් ඒක විකෘති කරලා මාධ්‍ය ජාලාවල දානවා.
තොරතුරක් ආවම කියනවා හරියට අධිකරණයේදී තහවුරු වුණා වගේ. මේ සිද්ධිය කොච්චර විකෘති කරලාද. කොමිෂන් කීයක් දාන්න වෙලාද. විමර්ශන වේගවත්ව අලුත් දිශානතියකට යොමු වෙලා තියෙනවා. පිල්ලෙයාන්ගෙනුත් ඒ ගැන ප්‍රශ්න කරන්න නියමිතව තියෙනවා. උදය ගම්මන්පිල කියනවා ජනාධිපති අත්සන් කරපු එකේ පාස්කු ප්‍රහාරය ගැන දාලා නෑ කියලා. එයාට ලොකු උවමනාවක් තියෙනවා පිල්ලෙයන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නෑ කියලා කියව ගන්න.
අපි සමහර උපක්‍රම පාවිච්චි කරනවා. උපක්‍රමවලට කලබල වුණාට කරන්න දෙයක් නෑ. මම පාර්ලිමේන්තුවේ අනාවරණය වුණා කියලා කිව්වම කලබල වුණා. තොරතුරු තියෙනවා. ඇයි ඒ තොරතුරු අනාවරණය වුණාම කලබල වෙන්නේ? කලබල වෙන්න දෙයක් නෑනේ සම්බන්ධ නැති කවුරුත්. අපිට එයාව පාස්කු ඉරිදා ප්‍රහාරයට ගන්න ඕනෑ නම් ගන්න පුළුවන්.
ඒ ගන්නත් තොරතුරු නිශ්චිත වෙන්න ඕනෑ. අපි කිව්වේ තොරතුරු අනාවරණය වෙනවා කියලා. ඒ තොරතුරු අනාවරණය කර ගන්න තව සාක්ෂි ගොඩක් අවශ්‍ය වෙනවා. තොරතුර ඇතුළේ තියෙන සාක්ෂි ඇත්තද නැද්ද කියලා විමර්ශනය කරන්න ඕනෑ. තොරතුරක් ආවම වටේ පිටේ ඉන්න අය කලබල වෙන්නේ මොකද? කලබල වෙන්න ඕනෑ නෑනේ. පිල්ලෙයාන් හම්බෙන්න ඕනෑ කියන්නෙත් නෑ, පිල්ලෙයාන් ඇඬුවා කියන්නෙත් නෑ. තොරතුරු සනාථ කරගන්න කලින් කියන්න ගත්තොත් වෙන්නේ මොකක්ද දන්නවද. ඒ තොරතුරු වළක්වන්න පිරිසක් ඉන්නවා. ගම්මන්පිලගේ උත්සාහයත් ඒ වගේ එකක් වෙන්න ඉඩ තියෙනවා.
දැනට තොරතුරු එක එක ඒවා එනවා.අපි ඒවා විමර්ශනය කරමින් තිබෙනවා.ජනාධිපතිතුමත් කියන්න ඇත්තේ 21 වැනිදාට පෙර නිශ්චිත තොරතුරක් හෙළිකර ගන්න පුළුවන් කියලා මේ අදහසින් වෙන්න ඕනෑ. ”
Leave a Reply