මනෝ විද්‍යාවට අනුව තීරණ ගන්නවා කියන්නේ අපි ළඟ තිබෙන විකල්ප හැකියාවන් කිහිපයක් අතර විශ්වාසයක් හෝ ක්‍රියාමාර්ගයක් තෝරා ගැනීමේ ප්‍රතිප්‍රජානන ක්‍රියාවලියක් ලෙස හඳුන්වන්න පුළුවන්. තීරණ ගන්නවා යනු බුද්ධිමය ක්‍රියාවලිය සම්බන්ධ කොටසක්.

තීරණ ගැනීමේදී තීරණ ගන්න පුද්ගලයාගේ සාරධර්ම, එයාගේ තිබෙන ආසාවන් සහ විශ්වාසයන් මත පදනම් විය යුතුයි. සෑම තීරණයක්ම ගන්න ක්‍රියාවලියක් අවසානයේම අපි කිසියම් තේරීමක් සිදුකරනවා. නැත්නම් එය ක්‍රියාවට නංවනවා. නැත්නම් එය නොකරන්නට ඉඩ තිබෙනවා. මනෝ විද්‍යාවේදී තීරණ ගැනීම ක්‍රියාකාරකමක් ලෙසත් හඳුන්වනවා. අපි තීරණයක් ගත්තාට පසුව එම තීරණයට අදාළ ඉදිරි පියවර, ගැටලු විසඳීමේ ක්‍රියාකාරකම් සිදුකරන විට අපි බොහෝ විට ගනු ලබන්නේ අපට වාසිදායක වන තීරණයි. බොහෝ විට අපිට සතුටු විය හැකි තීරණයක් තමයි  ගන්නේ. ඒ නිසා මනෝ විද්‍යාවේදී මෙය එක්තරා බුද්ධිමය ක්‍රියාකාරකමක් ලෙස තමයි හඳුන්වන්නේ. 

සමහර අය ක්ෂණික තීරණ ගනු ලබනවා. සමහරක් මිනිස්සු නිශ්ශබ්දව තීරණ ගනු ලබනවා. නිශ්ශබ්දව තීරණ ගන්න පුද්ගලයා කුමක් හෝ සිදුවීමක් වුවහොත් ඒ සිද්ධියට අදාළ කාරණය විසඳ ගන්න නිශ්ශබ්දව මොළයෙන් දැනුම එකතු කරනවා. ඒ නිශ්ශබ්දව එකතු කරගන්න දැනුම තුළින් ඔහු ලබාගන්නේ සංකීර්ණ තීරණයක්. එය අපි ගොඩක් වෙලාවට යහපත් තීරණයක් ලෙස හඳුන්වනවා. එය අනිත් අයටවත්, තමාටවත් කිසිම හානිදායකත්වයක් නැහැ. නමුත් සමහර අය සිටිනවා ක්ෂණික තීරණ ගන්න. ඒ අය සිද්ධියට අදාළ තොරතුරු, ගැටලු සම්බන්ධයෙන් විශ්ලේෂණයකින් තොරවයි එම තීරණ ගැනීම සිදුකරන්නේ. බොහෝ විට ඒවා තමන්ට මෙන්ම අනුන්ට අවාසිදායක තීරණ වෙන්න පුළුවන්. 

ඒ වගේම පුද්ගලයන්ට එනවා ක්ෂණික ආවේග. අපි කියනවා එය හැඟීම් කියලා. අපිට නිතරම දුක , සතුට,වෛරය, පසුතැවීම, කලකිරීම  වැනි හැඟීම් පහළ වෙනවා. මෙම හැඟීම් මනෝවිද්‍යාවට අනුව තාවකාලික හැඟීම් ලෙස හඳුන්වනවා. සමහර පුද්ගලයෝ මේ තාවකාලිකව එන හැඟීම්වලට ස්ථිර තීරණ ගනු ලබනවා. මේ තාවකාලිකව එන හැඟීම්වලට ස්ථිර තීරණ ගැනීමෙන් පුද්ගලයාට අවාසිදායක වෙන්න පුළුවන්. තීරණයක් ගන්න වඩාත්ම සුදුසු මේ හැඟීම් පහව යන තෙක් තීරණ නොගෙන සිටීමයි. උදාහරණයක් ලෙස අපිට දුකක් ඇතිවුවහොත් ඒ දුක මත තීරණ රාශියක් ගන්න උත්සාහ කරන්න එපා. මන්ද ඒ තීරණවලට බලපෑවෙත් ඒ පැමිණි දුක. ඒ ගනු ලබන තීරණවලින්ද සිදුවන්නේ ඔබ දුකට පත්කර ගැනීමක්. ඒ නිසා ඔබට මේ පැමිණෙන හැඟීම් තාවකාලික බව ප්‍රථමයෙන් වටහාගන්න ඕන. මේ නිසා ඒ පැමිණෙන හැඟීම්වලට ජීවිතයේ ස්ථිර තීරණ ලබාගන්නේ නැතිව ඒ හැඟීම පහව යනතෙක් සුළු මොහොතක් හෝ ගත කරනවා නම් නිශ්ශබ්දව ඉන්පසුව ගන්නා තීරණය ඔහුට හෝ ඇයට වාසිදායක වෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස බිරිඳකට සැමියා සම්බන්ධයෙන් අධික තරහක් එන්න පුළුවන්. ඒ අධික තරහව නිසාම ජීවිතය විනාශ කරගන්න අවස්ථාවන් අපි ඕනෑතරම් දැක අසා තිබෙනවා. ඒ වගේම අධික දුක දරාගන්න බැරිව හෘදයාබාධ වලට ගොදුරු වුණ අය ඕනතරම් ඉන්නවා. ඒ නිසා එවැනි හැඟීමක් පහළ වූ විට කලබල නොවී එය කාලයට බාරදීම තමයි වැදගත්ම කාරණය. ඉන්පසුව පුළුවන් බුද්ධිමත්ව එය කල්පනා කර ඊට අදාළ තීරණ ගන්න. 

සාමාන්‍යයෙන් තීරණ ගැනීමේ කාර්ය සම්බන්ධ වන්නේ ස්නායු විද්‍යාවට සහ ප්‍රජානන ස්නායු විද්‍යාවට. පුද්ගලයෙක් තීරණ ගැනීමේදී තමාගේ පෞද්ගලික කැමැත්ත මත ගනු ලබන තීරණ වගේම වෙනත් කෙනෙකුගේ උපදෙස් මත ගනු ලබන තීරණ තිබෙනවා. මේ දෙකේදීම අපි බැලිය යුතු දේ තමයි එයින් අපිට ලැබෙන වාසි සහ අවාසි කියන කාරණය. එහිදී බලන්න අවශ්‍ය ඒ තීරණය මගින් වාසි පැත්තද නැතිනම් අවාසි පැත්තද යන්නයි. තීරණයක් ගන්න පෙර මෙන්න මේ කාරණා ටික මෙනෙහි කරන්න. එනම්,

01. තමන්ට පැමිණි ඒ ගැටලුව හරි හැටි නිර්වචනය කරගන්න.
02. ඒ ගැටලුවෙන් ඇති වූ අවහිරතා මොනවාද යන්න කල්පනා කරන්න.
03. ඒ අවහිරතා මඟහරින්න තමන්ට කළයුතු දේවල් මොනවාදැයි කල්පනා කරන්න.
04. එයින් සිදුකළ හැකි හොඳම දේ තෝරා ගන්න
05. ඉන්පසු ඊට අදාළව මොළයෙන් සැලැස්මක් සාදාගෙන එය ක්‍රියාවට නංවන්න.
06. ඉන්පසු ඒ තීරණය ගැනීමෙන් ඇති වූ බලපෑම පරීක්ෂා කර බලන්න. 

මෙලෙස අපේ ජීවිතයෙත් යම් ගැටලු අවස්ථා පැමිණෙන විට අපි ක්ෂණිකවම තීරණ නොගෙන මෙවැනි පියවරකට තීරණ ගතහොත් ඒ පුද්ගලයාට ලැබෙන වාසිදායක පැත්ත වැඩිවනු ඇත.

උපදෙස් - තාරු පරණවිතාන
(සායනික මනෝ චිකිත්සක / කථිකාචාර්ය
The Helping Hand මානසික සෞඛ්‍ය රෝහලේ අධ්‍යක්ෂ)

 

0 comments

Leave a Reply

Post Comment