Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා
2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා
ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවරදී පසුගිය සතියේ නිමා වූ ලෝක විවාහක රූ රැජිණ තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ කැරොලයින් ජූරි, එම කිරුළ තමා සතු කරගත්තේ ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරයට ඔසවා තබමිනි. 1984 වර්ෂයේ රෝසි සේනානායක විසින් එම කිරුළ ජයගෙන වසර 35කට පසු ශ්‍රී ලංකාවට එම කිරුළ හිමිවීම විශේෂත්වයකි. අවුරුදු දෙකක සිඟිති දියණියකගේ මවක වන 27 හැවිරිදි කැරොලයින්, ඩුබායි රාජ්‍යයේ සිට තමන්ගේ රැකියාවටද සමු දී මෙරටට පැමිණ තිබුණේ මෙම තරගාවලිය වෙනුවෙනි. වත්තල ප්‍රදේශයේ පදිංචි ඇය, ශ්‍රී ලංකා නාමය බබළවමින් ලෝකයේ සුරූපී විවාහක කාන්තාව මෙන්ම සුරූපීම මවක බවට පත්වූ නිසාම ඇය වෙනුවෙන් Wonder Woman කවරය වෙන් විය.
“මම අද මෙතන ඉන්නේ දෙවියන් වහන්සේ නිසයි. ඒ නිසා මම මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන දෙවියන් වහන්සේට. මීළඟට මගේ ස්වාමි පුරුෂයා වන නිශාන්ත දීපාල්ට ස්තූතිවන්ත වෙනවා. මාව විශ්වාස කරගෙන,මට සහයෝගය දීලා මාව ඉදිරියට ගෙනාවට. ඒ වගේම ජාතික අධ්යක්ෂ චන්දිමාල්ට මම ස්තූතිවන්ත වෙනවා නිවැරදි කෙනෙක්ව තෝරගෙන තරගයට ඉදිරිපත් කළාට. ඒ වගේම රුක්මාල් සේනානායකටත් ස්තූතිවන්ත වෙනවා මට ඉගැන්වූවාට. ඒ වගේම චූලාට ස්තූතිවන්ත වෙනවා මට ලෝක තරගාවලියට යන්නට පෙර මාව පුහුණු කළාට. ඒ වගේම කියන්න ඕන ලෝක තරගාවලියට ඇමෙරිකාවට යන්න සූදානම් වෙද්දී දෙවරක් මගේ වීසා ප්‍රතික්ෂේප වුණා. 2018 වර්ෂයේ ලෝක විවාහක රූ රැජිණ වූ ඇෙලස්ලීට මම ස්තූතිවන්ත වෙන්න අවශ්‍යයි වීසා ලබා ගැනීමට මට දුන් උදව්වට. ශ්‍රී ලංකාවේ කෙනෙක් නොවුණත් ඇය ගොඩාක් උදව් කළා, ඇය නිසයි මම මේ කිරුළ දරන් ඉන්නේ. ඒ වගේම නිල්මිණි තෙන්නකෝන් මහත්මියත් ඒ වෙනුවෙන් ලොකු වෙහෙසක් දැරුවා. ඇයටත් ස්තූතිවන්ත වෙනවා.
ඒ වගේම මම කියන්න ඕන මම ලංකාවෙන් මේ තරගෙට යන්න කලින් මට හැමෝගෙම සහයෝගය තිබුණ නම් ඒක ලොකු දෙයක් වෙන්න තිබුණා. මට තරගයට යන්න කලින් සහයෝගය දෙන්න කිසිම කෙනෙක් හිටියේ නැහැ. ඒ නිසා ඇත්තටම මට අනුග්‍රහකත්වය ලබාදෙන්න උදව් කළ ක්ලිෆඩ් මහතාටත් මම ස්තූති වෙනවා. මේ ක්ෂේත්රයට මම ගොඩාක් අලුත්ම කෙනෙක්. ඒ නිසා මට කවුරුත් හිටියේ නැහැ.මගේ ළඟ හිටියේ මගේ සැමියා,පවුලේ කට්ටිය සහ මේ උදව් කළ අය විතරයි.
මගේ නැන්දම්මාටත් මම විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. ඇය තමයි මගේ සැමියාට කිව්වේ මේ මගේ එකම ආසාව, ඒකට ඉදිරිපත් වෙන්න, මම ආසයි මගේ ලේලිය මේ වගේ තරගයකට ඉදිරිපත් වෙනවාට කියල. මම ආසයි එයාව ලස්සනට දකින්න කියලා කිව්වේ ඇය. ඒ නිසා ඇයට මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මගේ පිටුපසින් සිට මට උදව් කළ නෙවිල් මහත්මයාට හා තිළිණිට ස්තූතිවන්ත විය යුතුයි.
මිනිස්සු මං ගැන කතා කරද්දී ඇත්තටම මට කවුරුත් නැහැ. සුරංගට මම ස්තූතිවන්ත වෙනවා මාව හැඩ ගැන්වූවාට. ඒ වගේම මට අනුග්‍රාහකත්වය දැක්වූ නයෝමි, කණිෂ්ක, අරුෂ් ඇතුළු පිරිසටත් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම වෙඩින් ඩ්‍රීම්ස් ආයතනයටත් ස්තූතිවන්ත වෙනවා. ඔයාලා නැත්නම් මම මේ තැන නැහැ. නිර්මාල්ටත් මම ස්තූතිවන්ත වෙනවා මගේ සැමියා සමඟ සිටිමින් මට උදව් කළාට. ඒ වගේම සඳුනිට හා ටානියාට ස්තූති කරන්න ඕන. මම මේ පැජන්ට් එකට මුලින්ම ආව දවසේ මගේ මේක් අප් කළේ සඳුනි.
ඒ වගේම චන්දිමාල් වගේ ජාතික අධ්යක්ෂවරයෙක් යටතේ වැඩ කරන්න ලැබීම හරිම සතුටුයි. මම ඇමෙරිකාවේ තරගයට සහභාගිව සිටියදී මට කවුරුත් හිටියේ නැහැ. මම ලංකාවේ ධජය ඇමෙරිකාවට අරගෙන යද්දී මට එහේ කවුරුත් හිටියේ නැහැ. මට මේ සඳහා වන Interview එකට කතා කරන්න අවශ්‍ය දේවල් පාඩම් කරන්න මාසයක් පමණ කාලයක් ගත වුණා. ඒ වගේම රෝසි සේනානායක මහත්මියට මම ස්තූතිවන්ත වෙන්න අවශ්‍යයි. ඇය මට සුබ පැතුවා. ඒ වගේම විනිශ්චය මණ්ඩලයේ සියලුම සාමාජිකයන්ට ස්තූතිය පුද කරනවා.
මට කියන්න තියෙන එකම දේ තමයි ශ්‍රී ලාංකික ජනතාව ලෙස මේ වගේ තරගයක් සඳහා ඉදිරිපත් වන අයට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියන එක. මම මේ ක්ෂේත්රයට අලුත් නිසා මට කාගෙන්වත් උදව් ගන්න බැරි වුණා. මගේ සැමියා, සංජිත් මහත්මයාගෙන් මුදල් ඉල්ලගෙන තමයි මගේ මේක් අප් සඳහා වියදම් කළේ. ලංකාවේ කෙනෙක් මේ වගේ තරගයකට යනවා නම් කරුණාකරලා ඔවුන්ට උදව් කරන්න. මොකද ඔවුන් අපේ මාතෘ භූමියයි නියෝජනය කරන්නේ. ඒ වගේම තමන් කරන ඕනෑම කටයුත්තකදී දෙවියන්ව පළමු කොට සලකන්න. ඔබ ක්‍රිස්තියානි හෝ බෞද්ධ හෝ වෙන යම් ආගමක් අදහන අයෙක් වෙන්න පුළුවන්. ඕනෑම කටයුත්තකදී තමන්ගේ ආගමට පළමු තැන දෙන්න. මම ඇමෙරිකාවේ තනිව තරග කරද්දී මගේ සහයට හිටියේ දෙවියන් පමණයි. මම අදහන දෙවියන් වහන්සේ මාව ශක්තිමත් කරමින් මාත් එක්ක සිටියා.
තමන්ව නිවැරදි ලෙස මිනිස්සුන් වටහා නොගැනීම පිළිබඳ යමෙකුට දැනෙන වේදනාව මම හොඳට හඳුනනවා. බොහෝ දෙනා අපිව විනිශ්චය කරන්නේ පිටස්තරව ඉඳන්. මට හැම වෙලාවෙම මානසික වශයෙන් පීඩාවට ලක් වූ ළමුන් වෙනුවෙන් යමක් කරන්න උනන්දුවක් තිබුණා. මම පොඩි කාලේ මානසික වශයෙන් පීඩනයට ලක් වෙලා තිබුණු නිසා මට ඒ පිළිබඳ අත්දැකීමක් තිබෙනවා. ඒ නිසා මට ලෝක විවාහක රූ රැජින ලෙස මෙවැනි දරුවන් වෙනුවෙන් සේවය කරන්න ලැබීම ගෞරවයක් ලෙසයි දකින්නේ. ලංකාවේ පීඩාවට පත්වුණු අසරණ, දුක්විඳින දරුවන්ට උපකාර කරන්න මට අවශ්‍යයි. මට ඒ සඳහා ඔබගේ උදව් අවශ්‍යයි,.මම කුඩා කල විඳපු වේදනා මට මතකයි. ඒ නිසා ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුදෙනාගේ උදව් මම මේ වෙනුවෙන් බලාපොරොත්තු වෙනවා.
අද අපිත් එක්ක ගොඩාක් අය එකතු වෙලා හිටියට අපේ තරගාවලියේදී සමහර අවස්ථාවල අපි තනිවෙලා හිටියා. කැරොලයින්ගේ වීසා දෙපාරක් ප්‍රතික්ෂේප වුණාම මට නින්ද ගියේ නැහැ. මොකද අපි කළ හැමදෙයක්ම වතුරේ යන්න ගියා. ඒ වගේම අපි විශ්වාස කළා කැරොලයින්ට අපේ රට වෙනුවෙන් යමක් මේ තරගයේදී සිදුකළ හැකි බව.
අපිට වීසා ලබා ගන්න බැරි වුණානම් අද මේ කිරුළ අපිට නැහැ. ඒ නිසා අපි මේ රජයෙන් හා සියලුම බලධාරීන්ගෙන් ඉල්ලන්නේ මේ ක්ෂේත්රයට උදව් කරන්න කියලයි.
ලංකාවේ බොහෝදෙනා ඉන්නවා ලෝකය දිනන්න පුළුවන් අය. ඒ අය අතරින් තවත් කැරොලයින්ලා බිහිවෙන්න අපිට උදව් කරන්න. හැමෝම ඇහුවා මේ පැජන්ට් එක තියලා හම්බෙන්නේ මොනවද කියලා. මට කිසිම ලාභ ප්‍ර‘යෝජනයක් අවශ්‍ය නැහැ. මට අවශ්‍ය මගේ රට දිනවන්න විතරයි. කැරොලයින් මෙතනට ආවේ ලොකු කැපකිරීම් කරලා. ඒ නිසා මම රජයෙන් හා බලධාරින්ගෙන් ඉල්ලනවා කැරොලයින් ලංකාවට ගෙනාව කීර්තිය වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා. අවුරුදු 35කට පසු කැරොලයින් අපේ රටට ගෙනත් දුන්න මේ කීර්තිය මිල කරන්න බැහැ. ඒ නිසා ඇය වෙනුවෙන් යම් දෙයක් කරන්න කියලා මම සියලුම දෙනාගෙන් ඉල්ලනවා. ඒ වගේම එළඹෙන වර්ෂයේ ලෝක විවාහක රූ රැජින තරගාවලිය අපේ පුංචි රටේ සංවිධානය කරන්න අවශ්‍ය සියලුම කටයුතු කරන්න උත්සහයන් මා විසින් දරනවා.
අවුරුදු 35කට පස්සේ අපේ රටේ නම ජාත්‍යන්තරයේ බබළවන්නට අපේ රූ රැජිනට පුළුවන් වුණා. ඇය නිසා මුළු ලෝකයක්ම අපේ රට ගැන ආඩම්බරයෙන් කතාබහ කරනවා. චන්දිමාල් විසින් මෙවැනි දැවැන්ත තරගාවලියක් අපේ රටේ සංවිධානය කළේ නැත්නම් මෙවන් ආඩම්බරයක් අපිට ලැබෙන්නේ නැහැ. එදා ඔහු හා රුක්මල් සේනානායක තමන්ගේ අභියෝග ජයගෙන රූ රැජින තරගාවලිය ඉතාමත් උත්කර්ෂවත්ව අපේ රටේ පවත්වනු ලැබුවා. ශ්‍රී ලංකාවේ නිරූපණ ක්ෂේත්රය පිළිබඳ පසුගිය කාලයේ කලකිරීමක් තිබුණා. අවුරුදු 35ක් පුරාවට අපේ රටේ රූපරාජිනී තරග සංවිධානය වුණා. නමුත් ඇතැම් අධ්යක්ෂවරුන්, කළමනාකාරවරුන් නිසා මේ ක්ෂේත්රයේ දැවැන්ත කළු පැල්ලම් ඇතිවුණා. චන්දිමාල් අනෙක් තරගවල වගේ ලිංගිකත්වය පදනම් කරගෙන මේ කිරුළ ලබා දුන්නා නම් මේ වගේ කැරොලයින් කෙනෙක් අපේ රටේ බිහි වෙන්නේ නැහැ. අපි ගෞරවනීය විනිශ්චය මණ්ඩලයක් හරහා මේ ජයග්රහණයන් ලබාදුන් නිසා කැරොලයින් වගේ දක්ෂ රූ රැජිනියක් අපේ රටට බිහි කරන්නට අවස්ථාවක් ලැබුණා. මේ ආරම්භ වන්නේ ශ්‍රී ලාංකික නිරූපණ ක්ෂේත්රයේ ස්වර්ණමය යුගයයි. ඇයගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් එක්කළ ජනාධිපති වරයා ඇතුළු රජයට ස්තූතිවන්ත වෙනවා.
කැරොලයින් පළමු පරීක්ෂණයට සහභාගි වෙද්දී ඇයගේ හැමදේම ලස්සන වුණාට කොණ්ඩය ලස්සනට තිබුණේ නැහැ. අපි එය හදාගන්න කියලා දුන් උපදෙස් ඇය පිළිපැද්දා. අපි මුල සිටම තරගකාරිනියන්ගේ ශික්ෂණය හැදුවා. ඉතින් රූපරාජිනී තරගාවලියක් කියන්නේ නිරූපණ තරගයක් නොවෙයි. ඒ වෙනුවෙන් අරමුණක් කරා යන රූමතියක් සිටිය යුතුයි. මේ තරගාවලියේදී මට හම්බුණේ අම්මලා ටිකක් පුහුණු කරන්න. ඉතින් ඒ අම්මලාගේ ගරුත්වය රකිමින් මම ඔවුන්ව පුහුණු කළා. මේ තැනට එන්න අපි ලොකු දුකක් වින්දා. ඒ වගේම අනුග්‍රාහක භවතුන්ට මේ වෙලාවේ ස්තූති කරනවා.
කැරොලයින්ට නිරූපණ ක්ෂේත්රය පිළිබඳ අත්දැකීමක් මින් පෙර තිබුණේ නැහැ. මේ තරගය පිළිබඳ දැනගෙන අපි ඩුබායිවල සිට ලංකාවට ආවා මේ තරගය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. ඇයට තිබුණේ මේ වගේ තරගයකට ඉදිරිපත් වෙන්න ආසාවක් පමණයි. නමුත් ඇය මේ තරගයට සහභාගි වුණාට පසුව අපේ රට වෙනුවෙන් දෙයක් ඇයට කරන්න පුළුවන් කියන දේ තේරුණා. රුක්මාල් මේ වෙනුවෙන් ඇයට උදව් කළා. චූලා ඇයට ඇවිදින ආකාරය ඉගැන්නුවා. අන්තිමට ඇයට රට වෙනුවෙන් යම් දෙයක් කරන්න ලැබීම ගැන තිබෙන්නේ ලොකු සතුටක්. ඒ වගේම දුකක් තිබෙනවා වීසා ප්රශ්නය ඇති වීම පිළිබඳව. දෙවරක් ප්‍රතික්ෂේප වෙලා වීසා ලැබිලා ඇය තරගය සඳහා ගියේ ප්‍රමාද වෙලා. ඒ වෙද්දී අනුතරග කිහිපයක් අවසන් වෙලා තිබුණා. නිල්මිණි තෙන්නකෝන් මහත්මිය වීසා අරන් දෙන්න ලොකූ පරිශ්‍රමයක් දැරුවා. ඇය නැත්නම් කැරොලයින්ට ඇමෙරිකාවේ මේ තරගයට යන්න වෙන්නේ නැහැ. වීසා ප්‍රතික්ෂේප වුණාම අපි රෝසි සේනානායක මහත්මියගෙන් ලිපියක් ඇමෙරිකානු තානාපති කාර්යාලයට ඉදිරිපත් කළා. ඒ වෙනුවෙනුත් ඇයට ස්තූතිවන්ත වෙනවා. අද ඇත්තටම අපිට සතුටුදායී දිනයක්.
මෙරට සාම්ප්‍රදායික නැන්දම්මා චරිතයෙන් ඔබ්බට ගමන් කළ චරිතයක් ලෙස ඇය හඳුන්වා දිය හැක්කේ මෙම තරගාවලියට කැරොලයින්ව සහභාගි කරවීම කෙරෙහි ඇය විශේෂ දායකත්වයක් ලබාදී ඇති නිසාය.
අප ඇයගෙන් තමන්ගේ ලේලිය ලොවක් ජය ගැනීම පිළිබඳව ඇති සතුට පිළිබඳව විමසූ අවස්ථාවේ ඇය මෙලෙස සිය හඬ අවදිකළාය.
&මට මේ වෙලාවේ හරිම සතුටුයි. මට ඉන්නේ එකම පුතයි. අපි ඩුබායිවල හිටියේ. පුතයි කැරොලයින් දුවයි දෙන්නම රැකියාවන්වල නිරත වුණ නිසා මම තමයි ඔවුන්ගේ දියණිය රැකබලා ගැනීම සිදුකළේ. දුව මේ වගේ තරගයකට ඉදිරිපත් වෙන්න හරිම ආසයි කියලා දවසක් කිව්වා. ඉතින් මම කිව්වා යන්න. බය වෙන්න එපා. මම බබාව බලාගන්නම් , ඔයා කොහොම හරි කිරුළ දිනාගෙන එන්න කියලා.
මට හරිම ආසයි, හරිම සන්තෝසයි මගේ ලේලිය මේ වගේ ජයක් ලබාගත්ත එක ගැන. ඇය නිරූපිකාවක් නොවෙයි. ඩුබායිවල පෞද්ගලික ආයතනයකයි ඇය සේවය කළේ. මේ ඇයගේ පළමු සහභාගිවීමයි. මම හරිම ආසයි මේ වගේ තරගවලට. මම කිව්වා ඔයාට දෙන්න පුළුවන් ලොකුම උදව්ව බබාව බලාගන්න එක. ඔයා වෙනුවෙන් මම ඒදේ කරන්නම්. බය වෙන්න එපා කියලා.
ඇත්තටම මගේ ලේලියි, මමයි කියන්නේ දෙන්නෙක් නොවෙයි එක්කෙනෙක්. එයාට ඕන වුණාම මගේ ඇඳුම් එයා අඳිනවා. ඒ වගේම මට ඕන වුණොත් මම එයාගෙන් ඇඳුම් ඉල්ලගෙන අඳිනවා. අපි දෙන්නා ඒ තරම් බැඳීමකින් ඉන්නේ. මම කිසිම තහංචියක් ඇයට දාලා නැහැ. මගේ ලේලිය ලස්සනට ඇඳලා ඉන්නවා දකින්න මම හරිම ආසයි. ගැහැනියකට විලාසිතා කරන්න එක කාලයක් තිබෙනවා. ඒ කාලේ සතුටින්, ලස්සනට ඇඳලා ඉන්න ඕන. ඒවාට විරුද්ධ වෙන්න නරකයි. මම කියලා තියෙන්නේ පුතේ ඔයා වැරුද්දක් කරන්නේ නැත්නම් කාගෙන්වත් වැඩක් නැහැ. ඔයා කැමති දේ කරන්න කියලයි.
Text: Nadeeshani Pathirana Photos: Sarasi Nethmini
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd