මිරිස්, ගම්මිරිස්, තුනපහ, කුරුඳු, ගොරකා ආදී ස්වාභාවික රසකාරක නැතහොත් කුළුබඩු වර්ග ශ්‍රී ලාංකිකයන් විසින් ආහාර රසගැන්වීමට යොදා ගනු ලැබූයේ ඈත අතීතයේ සිටය.
මෙකී කුළු බඩු වර්ගවල පවතින ඖෂධීය ගුණ පිළිබඳ ආයුර්වේදයේ බොහෝමයක් තොරතුරු පවසන අතර, කෙසේ වුවත් බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සිදුකරනු ලැබූ පර්යේෂණ මගින් මෙකී කුළුබඩුවල ගුණයන්ද වරින් වර එළිදක්වනු ලබයි.
එලෙස මිරිස් පිළිබඳවත්, විවිධ පර්යේෂණ ලෝකයේ සිදුකර තිබෙන අතර, ඒ නිසාම මිරිස් පිළිබඳව අපි නොදත් කරුණු පිළිබඳව කළ විමසීමකදී වයඹ සරසවියේ මානව පෝෂණවේදය පිළිබඳ අධ්‍යයනාංශයේ මහාචාර්ය රේණුක සිල්වා මහතා මිරිස් පිළිබඳවත්, අනෙකුත් කුළු බඩු පිළිබඳවත් මෙලෙස අදහස් දැක්වීය.
කුළුබඩු තද පැහැය මනුෂ්‍යයාට හිතකරය
ඓතිහාසික වශයෙන් අවධානය යොමු කළොත් අපේ රටට පෘතුගීසින්, ලන්දේසීන් හා ඉංග්‍රීසීන් පැමිණෙන්න හේතු වුණෙත් අපේ රටේ පැවති කුළුබඩු වර්ගයි. එම කාලයේ ඔවුන්ට කුළුබඩු පිළිබඳ අවශ්‍යතාව ඇතිවුණේ ආහාර කල්තබා ගැනීමටයි.
ඔවුන් ආහාර රසගැන්වීමට අපගේ කුළුබඩු රැගෙන ගියානම් හොඳට මිරිස් තුනපහ යොදා ආහාර කන ජාතියක් යුරෝපා රටවලත් සිටිය යුතුයි. එය එසේ නොවුණේ ඔවුන්ට කුළුබඩු අවශ්‍ය වුණේ ආහාර කල් තබාගැනීමටත්, ආහාරවල සුවඳ වෙනස් කිරීමටත්, ඇතැම් ඖෂධ නිෂ්පාදනය කිරීමට වගේම කරාඹු නැටි වැනි දේවල් සුවඳ විලවුන් සකස් කිරීම සඳහා අවශ්‍ය වීම නිසයි.
නමුත් අපි මේ කුළුබඩුවල ආහාරමය ගුණය පිළිබඳ අවධානය යොමු කරන විට අපේ පැරැන්නන් මේවායේ ආහාරමය ගුණය දැනගෙන පරිහරණය කළ බව පෙනී යනවා. ගම්මිරිස්, මිරිස් වර්ග යොදා මාළු හෝ මස් පිසීම තුළින් ඒවායේ යම් ස්වාභාවික විෂ උදාසීන වීමක් හෝ සමනය වීමක් සිදුවන බව ඔවුන් දැනගෙන සිටි බව පෙනී යනවා. මීළඟට මිරිස්, ගම්මිරිස් හා අනෙක් කුළුබඩු සමග ඇතිවන රසායනික ප්‍රතික්‍රියා හේතුවෙන් ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය බාල වීමක් සිදුවෙන බව පැරැන්නන් දැනගෙන සිටියා විය යුතුයි.
අපි මෙකී කුළුබඩු පිළිබඳ සැලකීමේදී විශේෂයෙන් මේවායේ පවතින තද පැහැය සමග එකතුවන යම් සංයෝගයන් මනුෂ්‍යයාට හිතකර බව පැවසිය යුතුයි. තද පැහැ එළවළු පලතුරු පිළිබඳ සැලකිලිමත් වුවහොත් මේවායේ විටමින් ඒ බහුලව අඩංගු වෙනවා. නමුත් අපි විටමින් ඒ ශරීරයට ගැනීමට අවශ්‍යතාවක් ඇති වනවිට කුළුබඩුවලින් එය ලබා ගන්නවාට වඩා වට්ටක්කා, කැරට් වැනි එළවළු ආහාරයට ගත හැකියි.
නමුත් මිරිස්, කහ, තුනපහ වැනි ඉතා කුඩා ප්‍රමාණයන් තමයි භාවිතයට ගනු ලබන්නේ. උදාහරණයක් ලෙස මිරිස් දවසකට තේ හැන්දක් වැනි ප්‍රමාණයක් තමයි දෛනිකව ආහාරයට ගනු ලබන්නේ. එය ඉතාම කුඩා ප්‍රමාණයක්. නමුත් මෙවැනි කුඩා ප්‍රමාණයන්ගෙන් යුතු කුළුබඩු කිහිපයක් අපි ආහාරයට ගන්නා නිසා ශරීරයට ලැබෙන ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළයි. හිතකර සංයෝගවලින් යුතු ප්‍රතිඔක්සිකාරකවලින් අපේ ශරීරයේ හැදෙන අයහපත් අංශු උදාසීනකර ශරීරයට අවැඩක් වීම වළක්වමින් ඒවා නිශ්ක්‍රිය කිරීමක් සිදුකරනු ලබනවා.
ලොව ඉහළම ප්‍රතිඔක්සිකාරකය මෙරට කුරුඳු තුළින්
ලෝකයේ වැඩිම ප්‍රතිඔක්සිකාරක අඩංගු මිනිස් පරිභෝජනයට ගන්නා ශාකය ලෙස හඳුන්වනු ලබන්නේ කුරුඳු. කුරුඳු ගැන අවධානය යොමු කිරීමේදී සිලෝන් නැත්නම් ලංකාවේ වැවෙන කුරුඳුවල මේ ගුණය ඉතා ඉහළ බව දේශීයව මෙන්ම විදේශීයවද සිදුකරනු ලැබූ පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා. කුරුඳු වැනි දේවල් පරිභෝජනයට ගැනීමේදී පානයක් ලෙස දිනකට කුරුඳු ග්‍රෑම් 1ක්, එනම් තේ හැන්දක් වැනි ප්‍රමාණයක් භාවිතයට ගැනීම තුළින් රුධිරයේ පවතින කොලෙස්ටරෝල් මට්ටම පවා අඩු කරගත හැකි බව තහවුරු වී තිබෙනවා.
ක්ෂුද්‍ර ජීවීන් නසන ගුණය ඇති මිරිස්
මෑතකාලීනව ලෝකයේ බොහෝ කතාබහකට ලක්වී ඇති කුළුබඩු විශේෂයක් ලෙස මිරිස් හඳුන්වා දිය හැකියි. විශේෂයෙන් මිරිස්වල පවතින කැප්සේසින් නමැති සංයෝගය මගින් හිතකර බලපෑම් අපගේ ශරීරයට එකතුකරයි. එයත් ප්‍රතිඔක්සිකාරකයක් ලෙස අපගේ ශරීරයට හිතකර තත්ත්ව ඇතිකරන බව විදේශයන්හි සිදුකරනු ලැබූ පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.
මිරිස් පිළිබඳ දේශීයව සිදුකරනු ලැබූ විද්‍යාත්මක පරීක්ෂණ නොමැති නිසා අපට විදේශයන්හිදී සිදුකරනු ලැබූ පරීක්ෂණ මත සාකච්ජා කිරීමට සිදුවෙනවා. ඒ අනුව ක්ෂුද්‍ර ජීවීන් නාශනය කිරීමේ ගුණයක් මිරිස්වල පවතින බව සඳහන් වෙනවා. ඇතැමුන් මේ සංයෝගවලට බය වෙන්නේ මිරිස් ආහාරයට ගැනීමෙන් ගැස්ට්‍රයිටීස් රෝගය ඇතිවන බවට සිතීම නිසායි.
නමුත් ගැස්ට්‍රයිටීස් රෝගය සෑදීමට ප්‍රධාන හේතුව වන්නේ මිරිස් ආහාරයට ගැනීම නොව බැක්ටීරියාවක් නිසා ඇතිවන රෝග කාරකයක් බව වටහා ගතයුතු වෙනවා. මිරිස් නිසා ගැස්ට්‍රයිටීස් වැලඳීම සිදු නොවුණත් ගැස්ට්‍රයිටීස් රෝගය වැලඳුණු අයෙකුට මිරිස් ආහාරයට ගැනීම අහිතකර වෙනවා. එයට හේතුවන්නේ ගැස්ට්‍රයිටීස් රෝගය නිසා ආහාර මාර්ගයේ ඇතිවන තුවාලවල වේදනාවක්, මිරිස් සහිත ආහාර අනුභවය නිසා ඇති වීමයි.
මිරිස්වල ඇන්තොසයනීන්( Anthocyanin) නමැති සංයෝගයක් අඩංගුවන අතර, එය රතු පැහැයට හුරු සංයෝගයක්. ආහාරවල අඩංගු කැරොටීන් කහ පාටට හුරු සංයෝගයක් වන අතර, රතු පැහැය ඇතිවන්නේ ඇන්තොසයනීන් හේතුවෙන්. ඇන්තොසයනීන්වල කැරොටීන්වල තරමට නොමැති වුවත් යම් ප්‍රමාණයක ප්‍රතිඔක්සිකාරක ගුණයක් අඩංගු වෙනවා. රතු මිරිස්වල මෙන්ම කොච්චි වැනි දේවලත් මේ ගුණය අඩංගු වෙනවා. කොච්චිවලට වර්තමානයේ අධික ඉල්ලුමක් දේශීයව මෙන්ම විදේශීයවද ඇති වී තිබෙනවා. ඒ ඉල්ලුම ඇතිවී තිබෙන්නේ ආහාරවලට ඒවායෙන් ලැබෙන රසය හා ගුණය පදනම් කරගෙනයි.
අමු මිරිස්, මාළු මිරිස්, කොච්චි හා බෙල් පෙපර්
මිරිස් පිළිබඳ සලකා බැලීමේදී මිරිස්වලද එක එක වර්ග පවතින බව දැකිය හැකියි.
අමු මිරිස්, මාළු මිරිස්, කොච්චි මෙන්ම බෙල් පෙපර් ලෙසද මිරිස් ආහාරයට එක්කර ගනු ලබනවා. මෙහිදී බෙල් පෙපර් පිළිබඳ අවධානය යොමු කිරීමේදී ඒවායේ තිබෙන කහ, කොළ, රතු වැනි පැහැයන්වලින් පෙන්නුම් කරන්නේ ජෛව ක්‍රියාකාරී සංයෝගයන්. ඒවායේ විටමින් සී හා විටමින් ඒ අඩංගු වෙනවා. විශේෂයෙන් බෙල් පෙපර් හා මාළු මිරිස් එළවළුවක් හෝ සලාද ලෙස ආහාරයට ගැනීමෙන් විටමින් %ඒ^ හා %සී^ ශරීරයට එක්වෙනවා.
අවසානයේ සෞඛාරක්ෂිත ආහාර වේලක්
අපි ලබා ගන්නා ආහාරවල ප්‍රණීත බව තීරණය වීමට ප්‍රසන්න වීමට මෙකී මිරිස් කොච්චි ඇතුළු කුළුබඩු අවශ්‍ය වේ. අපේ ආහාරවල රසය තීරණය වන්නේ ලුණු, සීනි, තෙල් මත නොව මෙම කුළුබඩුවල රසයන් මත බව අප වටහාගත යුතුයි. ඒ අනුව කුළුබඩුවලින් සෞඛ්‍යමය වාසි අත්පත් කරගන්නේ යම් සේද අපේ රටට වෙන කිසිම රටක නොමැති රසයක් ගෙන එන්නේද මේ කුළු බඩු නිසා බව අප වටහා ගත යුතුයි.
ඉන්දියාවට ආවේණික මසාලා රසය මෙන් අපේ රටට ආවේණික රසය මිරිස් සමග මුසුවූ කුළුබඩුවල රසය බවත්, එය අපේ අනන්‍යතාව බවත් කිව යුතු අතර, ආහාරයක් කොතරම් ගුණ වුණත් අපි එය ප්‍රියජනක ලෙස ආහාරයට ගන්නේ එහි රසයක් සුවඳක් තිබුණොත් බව කිව යුතුමය.
ශ්‍රී ලාංකේය ආහාරවලට මෙම කුළුබඩු පදමට එක්කිරීමෙන් පෝෂණීය බවක් මෙන්ම සෞඛය ආරක්ෂිත බවක්ද එක්වේ. අප මේ කුළුබඩු ආහාරයට ගනුයේ කුඩා ප්‍රමාණ වුවද ඒවායේ පවතින ප්‍රතිඔක්සිකාරක ගුණය හේතුවෙන්ම හෘදයාබාධ ඇතිවීම් වළක්වා ගැනීමට, පිළිකා වළක්වා ගැනීමට රුධිර නාල අවහිර වීම් වළක්වා ගැනීමට, රුධිර පීඩනය ඇතිවීම අඩු කරගැනීමට හැකියාවක් ලැබෙනවා.
නමුත් කිව යුතු දෙයක් වන්නේ අපේ සම්පූර්ණ ආහාරය පිළිබඳව අපි සැලකිලිමත් විය යුතු බවයි. එසේ නොමැතිව මිරිස් ආහාරයට ගැනීමෙන් මෙවැනි වාසි අත්පත්වන බව සලකා බලා මාලු ,මස් ගැඹුරු තෙලේ බැද මිරිස් දමා කෑම යෝග්‍ය නොවේ. මිරිස්, කුළු බඩු මෙන්ම ගොරකා හා කරපිංචාවල කොලෙස්ටරෝල් අඩුකිරීමේ ගුණයක් පවතින්නේ යම්සේද ආහාර පිසීමේදී එක් කරන රතු ලූනුවලින් උදරාබාධ සුව කිරීමේ ගුණයක් පවතින බවද අපි වටහාගත යුතුයි.