මාතලේ, විල්ගමුව, හිඹිලියාකඩ ග්‍රාමයේ යටිතල පහසුකම් සංවර්ධනය ඇරඹේ. අත්‍යාවශ්‍ය ඉදිකිරීම් හා සේවා පහසුකම් සැපයීමට ප්‍රමුඛතාව දෙමින් වැඩසටහන කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස පසුගිය ඔක්තෝබර් 02 දා මාතලේ දිස්ත්‍රික්කයේ චාරිකා කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ග්‍රාමීය ජනතාවගේ දීර්ඝ කාලයක සිට නොවිසඳී ඇති ගැටළු පිළිබඳව ඔවුන් සමග කථා බහ කොට ඒවා නිලධාරීන්ට ඉදිරිපත් කර විසඳුම් දීම චාරිකාවේ අරමුණ විය.
‘ගම සමග පිළිසඳර’ දෙවන වැඩසටහනට සහභාගීවෙමින් විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගැඹුරු ඔය, ලේඩියන්ගල, අලියාවල, වෙහෙරගල, හිඹිලියාකඩ සහ අවට ප්‍රදේශ ගණනාවක ගම්මුන් හමු වූ ජනාධිපතිතුමා ඔවුන්ගේ දුක් ගැනවිලිවලට සවන් දුන්නේය.
ජනතාව ඉඩම් අයිතිය, පානීය සහ වගා ජලය, කිරි ගොවීන්, වකුගඩු රෝගය ආශ්රිත සහ තවත් ගැටළු රාශියක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළහ. දීර්ඝ කාලයක සිට නොවිසඳී ඇති හෙට්ටිපොළ නගරයේ ඉඩම් ඔප්පු ගැටළුව නිරාකරණය ආරම්භ කර තිබේ. හිඹිලියාකඩ ගම්වැසියන් භුක්ති විඳින ඉඩම් සඳහා ඔප්පු 110ක් සකස් කොට ප්රදානය කිරීමට සැලසුම් කර ඇත.
හිඹිලියාකඩ ප්‍රාථමික විද්‍යාලයට නව පංතිකාමර ගොඩනැගිල්ලක් හා ගුරු නිවාසයක් ඉදිකිරීම සහ ක්‍රීඩා පිටිය සැකසීම යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් සිදු වෙමින් පවතී.
පිරිසිදු පානීය ජලය ලබාදීමට හිඹිලියාකඩ නාගවනාරාම විහාරස්ථානයේ ජල පිරිපහදු යන්ත්‍රයක් (ආර්.ඕ ප්ලාන්ට්) සවිකිරීම නාවික හමුදාව විසින් කරගෙන යනු ලැබේ.
යුද හමුදාව කුඹුරු අක්කර 2000කට පමණ ජලය සැපයෙන විල්ගමුව කොට්ඨාසයේ වත්තේගෙදර සහ දොඩම්ගොල්ල වැව ඉදිකිරීම් සැලසුම් කරමින් සිටී.
ජල මූලාශ්‍ර හඳුනාගනිමින්, වගා ළිං 10ක් ඉදිකිරීම ආරම්භ කර ඇත.
වෙහෙරගල සිට හෙට්ටිපොළ නගරය දක්වා කි.මි. 2.8ක් සහ හිඹිලියාකඩ වැව් තාවුල්ලේ සිට හිඹිලියාකඩ ග්‍රාමයට ඇති මාර්ගවල සංවර්ධන කටයුතු සැලසුම් කෙරෙමින් පවතී. හෙට්ටිපොළ - හිඹිලායකඩ මාර්ගයේ ධාවනයට බස් රථයක් එක් කර තිබේ.
සියලු ව්‍යාපෘති තෙමසක් ඇතුළත නිම කොට ජනතා අයිතියට පැවරීමට ජනාධිපතිතුමා උපදෙස් දී ඇත.









