ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක බළකාය සඳහා 13 වන කණ්ඩායම සඳහා නිලධාරීන් 08 දෙනෙකු සහ සෙබළුන් 67 ඇතුළු 75 දෙනෙකු අද (05දා) සවස පිටත්ව ගිය අතර, එහිදී ඔවුන්ට සුභාශිංසන පිරිනැමීමේ උත්සවයට ශ්‍රී ලංකා යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් විකුම් ලියනගේ මහතා කටුනායක ගුවන් තොටුපළ ගුවන් යානා අංගනය වෙත පැමිණ සිටියේය.
මෙම කණ්ඩායමේ අණදෙන නිලධාරී ලෙස ශ්‍රී ලංකා පාබළ හමුදාවේ ලුතිනන් කර්නල් එම්.එස්.ඩී.එන්.සමරකෝන් මහතා කටයුතු කිරීමට නියමිතය.
මෙසේ පිටත්ව ගිය භට සෙබළුන් සහ නිලධාරීන් ඉංජිනේරු බළකාය, සංඥා බළකාය, විශේෂ බළකාය, පාබළ රෙජිමේන්තුව, යාන්ත්‍රික රෙජිමේන්තුව, කමාන්ඩෝ රෙජිමේන්තුව, ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, සේවා බළකාය, වෛද්‍ය බළකාය, යුද්ධෝපකරණ බළකාය, විදුලි හා යාන්ත්‍රික බළකාය, පොලිස් සේවා බළකාය සහ පොදු සේවා බළකාය නියෝජනය කරන්නන් වූහ.
මෙහිදී ප්‍රථම වරට ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බළකායේ මෙහෙයුම් සදහා ශ්‍රී ලංකා යුධ හමුදා කාන්තා බළකාය නියෝජනය කරමින් එක් නිලධාරීනියක් සහ සෙබළියන් 07 දෙනෙකු ද සහභාගී වී සිටියහ.
එම නිලධාරීනිය වූ මේජර් ආශා දිල්රුක්ෂි මාධ්‍ය හමුවේ සිය අදහස් මෙසේ දැක්වූවාය.
"මම තමයි ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව සඳහා පළමුවෙන්ම ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරමින් යන කාන්තාව.
මම අපේ රටේ වගේම ඇප කැප වී ලෙබනනයේ දී හොඳින් රාජකාරී කරල, රටේ ගෞරවය ආරක්ෂා කරන්නට බලාපොරොත්තු වෙනවා" යැයි පැවසීය .
මෙම භට පිරිස අවුරුද්දක කාලයක් ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා වලට අනුබද්ධිතව රාජකාරී වල නියැලීමට නියමිතය.
මෙම භට පිරිස සමග පුපුරන ද්‍රව්‍ය නිරීක්ෂණය සිදු කෙරෙන සුනඛයන් පිරිසක් ද මෙම ගුවන් යානයෙන් ලෙබනනය බලා පිටත්ව ගියේය.
2010 වසරේ සිට මේ ආකාරයට ශ්‍රී ලංකා යුධ හමුදා භට පිරිස් ලෙබනනය තුළ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා වල රාජකාරී වල නිරත වී සිටිමින් ඔවුන්ගෙන් ප්රසංසාව හිමි කර ගෙන තිබේ .
භට පිරිස රැගත් ඉතියෝපියානු ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය අද රාත්‍රී 07.25 ට කටුනායක ගුවන් තොටුපළෙන් ලෙබනනය බලා පිටත්ව ගියේය.






