- රාවණාකන්දට මාර්ග 04ක් සහ පාලම් 03ක් අලුතින් ....
- කිතුල් සහ තේ කර්මාන්තකරුවන්ගේ ගැටළු ගැන විශේෂ අවධානය ...
- වෙද, හෙද සහ ගුරු හිඟයට පිළියම් ...
- ඉඩම් ගැටළුවට කඩිනම් විසඳුම් ...
“ගම සමග පිළිසඳර” සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලංගොඩ, ඉඹුල්පේ රාවණාකන්ද ගමට ගියේය.
ජනාධිපතිවරයා සහභාගී වූ “ගම සමග පිළිසඳර” තෙවන වැඩසටහන මෙයයි. පළමුවැන්න සැප්තැම්බර් මාසයේ, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ දෙවැන්න ඔක්තෝබර් මාසයේ දී මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිතව පැවැත්විණ.
ග්‍රාමීය ජනතාවගේ දීර්ඝ කාලයක සිට නොවිසඳී ඇති ගැටළු පිළිබඳව ඔවුන් සමග කථා බහ කර, ඒවා නිලධාරීන්ට ඉදිරිපත් කර කඩිනම් විසඳුම් දීම ජනාධිපතිගේ අපේක්ෂාව වේ. දිවයිනේ අති දුෂ්කර ගම්මානවල වෙසෙන ජනතාව මුණ ගැසී ඔවුන්ගේ ගැටළු නිවැරදිව හඳුනා ගැනීම තවත් අරමුණකි.
අද (18) පිළිසඳර රාවණාකන්ද ග්‍රාමයේ, තෝරවෙල්කන්ද විද්‍යාලයීය ක්‍රීඩා භූමියේ දී පැවැත්විණ. රත්නපුර දිස්ත්‍රික්කයේ එක් කෙළවරක, නුවරඑළිය දිස්ත්‍රික්කයට මායිම්ව බලංගොඩ, ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් රාවණාකන්ද ග්‍රාමය පිහිටා තිබේ.
රාවණාකන්ද ග්‍රාමයට ආසන්න කට්ටඩිකන්ද, ගල්ලෙනකන්ද සහ තෝරවෙල් කන්ද ඇතුළු අවට ප්‍රදේශ ගණනාවක ගම්මු ජනාධිපතිවරයා හමු වී දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමට තෝරවෙල් කන්ද විද්‍යාලයට පැමිණ සිටියහ.
බලංගොඩ, හැටන් මාර්ගයට පිවිසෙන පුදුකාඩුව හන්දියේ සිට කි.මි 6ක් වූ වලේගොඩ මාර්ගය, රාවණාකන්ද සිට ගල්ලෙන්කන්ද මාර්ගය, තෝරවෙල්කන්ද - වතුකාරකන්ද මාර්ගය සහ එගොඩවලේබොඩ - වතුකාරකන්ද යන මාර්ග ඇතුළු ගම්මාන රැසකට පිවිසෙන අතුරු මාර්ග හඳුනාගෙන කඩිනමින් සංවර්ධනය කරන ලෙස ජනාධිපතිවරයා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මේ මාර්ගවලදී හමුවන ඌරාඔය සහ ඉමෝඔය හරහා පාලම් ඉදිකිරීම ද ඊට සමගාමීව සිදු කෙරේ. මාර්ග ඉදිකිරීම් සමග කුඩා තේ වතු කර්මාන්තකරුවන් රැසකට තේ දළු ප්‍රවාහනය කිරීමට පහසුකම් සැලසේ.
කිතුල් මැදීමේදී බලපාන ගැටළු පිළිබඳව ජනතාව ජනාධිපතිවරයා දැනුවත් කළහ. කිතුල් මැදීම බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ දෙන්නැයි ජනාධිපතිවරයා පොලීසියට, වන සංරක්ෂණ සහ වනජීවි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
කිතුල් මැදීම, තේ දළු නෙළීම ඇතුළු එදිනෙදා ජීවනෝපාය සඳහා වන සංරක්ෂණ හා වනජීවි භූමිවලට ඇතුල්වන ගම්මුන්ට අත්තනෝමතික ලෙස නඩු පැවරීම නතර කරන්නැයි ද ජනාධිපතිවරයා නියෝග කළේය.
ඔවුන්ගේ පාරම්පරික ජීවන රටාවන්ගෙන් පරිසරයට හානියක් නොවන බව අවස්ථා ගණනාවකදීම පැහැදිළි වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම කටයුතුවලට සහය වන ලෙස ද නිලධාරීන්ට පැවසීය.




















