ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ගේ ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 – 2025’ ප්‍රතිපත්තියට සමගාමීව ජාතියේ උන්නතිය උදෙසා ශ්‍රී ලාංකික ජාතිය අසීරු අවස්ථාවන්ට මුහුණපාන අවස්ථාවලදි සහ ත්රස්තවාදීන්ට එරෙහිව හදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ හැකියාව සහිත කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකායේ අතිරේක ප්‍රහාරක සේනාංක සහ විශේෂ ක්‍රියාන්විත බලකාවලින් සමන්විත ස්ථාපිත කරනු ලැබූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකායේ සමාරම්භය පසුගිය ඔක්තෝබර් මස 17 (ඉරිදා) දින උදෑසන ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී සනිටුහන් විය.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ආරාධනාවකට අනුව මෙම සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් හා ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහභාගී විය.
“වේගවත්, ජවසම්පන්න, අභිතව” තේමාව පෙරටු කරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකායේ වර්ධනය වෙනුවෙන් දායක වන භටපිරිස් වෙත නිල ලාංඡන පැලඳවීම සඳහා ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) එක්විය. ඒ සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ විධායක ජෙනරල් මේජර් ජෙනරල් සංජය වණසිංහ ද එක්වූහ.
අනපේක්ෂිත තත්ත්වයන් සඳහා ඉදිරිපත් වීමට සහ හදිසි අවස්ථාවන් වලදී සක්‍රීය හමුදා ක්‍රියාකාරීන් ලෙස ක්ෂණිකව ක්‍රියාත්මක වී කටයුතු කිරීමට මෙම බලකාය ස්ථාපිත කර ඇත. 53 වන සේනාංකය, 58 වන සේනාංකය, කමාන්ඩෝ බලසේනාව, විශේෂ බලකා බලසේනාව, ගුවන් සංග්‍රාමික බලසේනාව, පාබල බලසේනා සහ තවත් ඒකකයන්හී භටපිරිස් කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකායේ ක්‍රියාන්විත කටයුතු වෙනුවෙන් සිය දායකත්වය සපයති.
අතීතයේ සිටම ශ්‍රී ලංකා යුද්ධ හමුදා අතිරේක ප්‍රහාරක බලකාය සහ විශේෂ මෙහෙයුම් බලකායන් ස්වාධීනව පවත්වාගෙන ගියද, එම සියළු බලකායන් සම්බන්ධ කරමින් ඉහළම ගුණාත්මකභාවයෙන් යුතු උපායමාර්ගික සටන්ක්රම වලින් සමන්විත එක බලකායක් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකාය ස්ථාපිත කර ඇත. එතුලින් ඇතිවිය හැකි ආරක්ෂක අභියෝගයන්, ස්වභාවික විපත්, මිනිසුන් විසින් සිදුකරනු ලබන විපත්, වසංගත සහ ත්‍රස්තවාදී තර්ජන මෙන්ම ජාතික හදිසි තත්ත්වයන් වෙනුවෙන් මෙම බලකාය ක්‍රියාකාරිව මැදිහත් වනු ඇත.















