තුර්කි ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්, කටුනායක ගුවන් තොටුපළේ දී පෙරේදා (03දා) දින රාත්‍රී ආපසු පිටත්ව යාමට සූදානම් වෙමින් සිටියදී අනතුරට පත් වී තිබේ.
මෙය තුර්කි ගුවන් සේවයට අයත් ඒ.- 330 - 300 එයා බස් වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකි. ටී.කේ.- 6050 දරන මෙම ගුවන් යානය තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට භාණ්ඩ තොගයක් රැගෙන 07/03 දින රාත්‍රී 09.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඉන්පසුව " වික්ටෝරියා සීක්රට් ස්ටෝර්ස් " නිෂ්පාදිත , මෙට්‍රික් ටොන් 45 ක් බරැති ඇගලුම් තොගයක් රැගෙන, මෙම ගුවන් යානය රාත්‍රී 11.30 ට පමණ කටුනායක ගුවන් තොටුපළෙන් තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව යාමට සූදානම් වෙමින් තිබුණි.
ඒ වේලාව වනවිට කටුනායක ගුවන් තොටුපළ සහ ඒ අවට ප්‍රදේශයේ පැවති දැඩි සුළං තත්වය ( ඇසළ කුණාටු තත්වය ) නිසා , මෙම ගුවන් යානයට පැටවීම සදහා රැගෙන විත් තිබූ බහාලුමක් , ශ්‍රී ලන්කන් ගුවන් සේවා ගුවන් අංගන මෙහෙයුම් ක්‍රියාකරුවන් විසින් නිසි පරිදි තිරිංග නොයොදා , අදාළ ගුවන් යානය අසළ නවතා තැබීමෙන් පසුව, එම බහාලුම ගුවන් යානය දෙසට හැමූ වේගවත් සුළගට ගසා ගෙන ගොස් එහි ඇංජිමක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.
මෙම සිදුවීමෙන් මෙම ගුවන් යානයේ දකුණු පස අංක 02 දරන ඇංජිම අනතුරට පත් වී තිබේ.
එනිසා මෙම ගුවන් යානය මෙසේ අනතුරෙන් හානියට පත් වූ ඇංජිම යථා තත්වයට පත් කර ගැනීමට හෝ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාමට අවශ්‍ය පියවර තුර්කි ගුවන් සේවා බලධාරීන් විසින් මේ වනතෙක් ගෙන නොමැත.
කටුනායක ගුවන් තොටුපළ ශ්‍රී ලන්කන් ගුවන් සේවා ගුවන් අංගන මෙහෙයුම් සේවකයින්ගේ අකාර්යක්ෂම වගකීම් විරහිත ක්රියාකළාපය (Bad Ground Handling ) සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළෙන් තම ගුවන් යානා සදහා තවදුරටත් ඉන්ධන ලබා ගැනීමට නොහැකි නිසා තුර්කි ගුවන් සේවය , ශ්‍රී ලංකාව සමග පවත්වනු ලබන ගුවන් ගමන් මෙහෙයුම් අත්හිටුවීමට තුර්කි ගුවන් සේවා බලධාරීන් මේ වනවිට සළකා බලමින් සිටින බවට ගුවන් තොටුපළ ආරංචි මාර්ග වලින් අනාවරණය වී තිබේ .




