ශ්‍රී ලංකා රජය, චීන රජය මෙන්ම දෙරටේම රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු කණ්ඩායම් රැසකගේම දායකත්වය හේතුවෙන් චීනයේ වුහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු පිරිස බේරා ගැනීමට හැකි වුණු බව එම මෙහෙයුමට සම්බන්ධ වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කණ්ඩායම පවසා සිටියි.
මෙම මානුෂීය මෙහෙයුමෙන් අනතුරුව මෙම පිරිසගේ සහභාගිත්වයෙන් පළමුවරට පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ඔවුන් ඒ බව සඳහන් කර සිටියේය.
මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවා සැපයුම් ප්‍රධාන නිලධාරී කපිතාන් රජින්ද් රණතුංග, මෙම යානයේ ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කළ කපිතාන් චමින්ද ඩි සොයිසා, ගුවන් යානා ඉංජිනේරු ලිලන්ත පත්බේරිය, ගුවන් යානා තාක්ෂණික නිලධාරී රුමේෂ් පතිරාජ, කාර්ය මණ්ඩල ප්‍රධානී ෆර්හාන් හනීෆා යන මහත්වරුන් ඇතුළුව එම අවස්ථාව සඳහා සහභාගි වූ වෛද්‍යවරිය ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ද සහභාගි වුහ.
ඡායාරූප - ශමිර රාජපක්ෂ



