තිරප්පනය පොලිස් වසමේ වෙල්ලමුදාව ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ලිඳකට ඊයේ (04) රාත්‍රියේ වැටුණු වන අලියකු ගොඩ ගැනීම සඳහා අද (05) දවස පුරා වන ජීවී නිළධාරීන් උත්සහ කළද පස්වරු 03.00 පමණ වන විටත් වන අලියා ගොඩට ගැනීමට නොහැකි විය.
ඒ අනුව වගා ලිඳ තුළ වන අලියා පැය 20 කට ආසන්න කාළයක් රැදෙමින් වගා ලිඳෙන් ගොඩ ඒමට උත්සහ දරමින් සිටියි.
මෙම වන අලියා තිරප්පනය, වෙල්ලමුදාව ගම්මානයේ නිවසක ගෙවත්තක තිබූ අනාරක්ෂිත වගා ලිඳකට ඊයේ (04) රාත්‍රී 8.00 ට පමණ වැටී ඇති අතර, ඒ පිළිබඳව නිවැසියන් හා ගම්වාසීන් වන ජීවී නිළධාරීන් දැනුම්වත් කර ඇත.
ඒ අනුව වන ජීවී නිළධාරීන් පැමිණ අදාළ ස්ථානය නිරීක්ෂණය කර ඇති අතර, අලියා නිරුපද්‍රිතව වගා ලිඳ තුළ සිටීම හේතුවෙන් අද දින (05) බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් වගා ලිදෙහි බැම්ම කපා වන අලියා ගොඩට ගැනීමට සැලසුම් කර ඇත.
මෙම වගා ලිඳ අඩි 30 කට ආසන්න ගැඹුරකින් යුතු විශාල වගා ලිඳක් වන අතර, අද බැකෝ යන්ත්‍රයක් රැගෙන විත් වගා ලිඳ අසල පස් තට්ටුව ඉවත් කිරීමට ආරම්භ කළ නමුත් වගා ලිඳෙහි පවතින ගැඹුර හේතුවෙන් පැය ගණනක් එම බැකෝ යන්ත්‍රයට මගින් එම කටයුත්ත සිදු කිරීමට සිදු විය.
ආහාර සොයා ගම් වැදුණු මෙම වන අලියා ඊයේ (04) රාත්‍රියේ අදාළ වගා ලිඳට වැටෙන ශබ්දය නිවැසියන්ට ඇසි ඇති අතර, නිවැසියන් ගොස් බැලීමේදී පොලව මට්ටමට පවතින ලිං බැම්මේ ගැටී වන අලියා වගා ලිඳ තුළට වැටී සිටින අයුරු දැක ඇත. ඊයේ (04) රාත්‍රී 8.00 පමණ සිට වගා ලිඳ තුළ සිට ගොඩට ඒමට උත්සහ කළ වන අලියාද අද (05) පස්වරුව වන විට වල තුළ එහා මෙහා ගොස්, ගොඩට ඒමට උත්සහ දැරීමෙන් හෙම්බත් වී සිටින අයුරුද දැකගත හැකි විය.
මෙම වන අලියාගේ එක් ඇසක් තුවාල වී ඇති අතර, වගා ලිඳට වැටෙන අවස්ථාවේ එහි තිබූ කෝටුවක් ඇනීමෙන් ඇස තුවාල වන්නට ඇතැයි ප්‍රදේශවාසීන් පවසති.
අදාළ බැකෝ යන්ත්‍රය වෙනුවට ඊට වඩා ප්‍රමාණයෙන් විශාල බැකෝ යන්ත්‍රයක් ගෙන ඒමට පසුව වන ජීවී නිළධාරීන් යෝජනා කළ අතර, එම බැකෝ යන්ත්‍රය අද (05) පස්වරුවේ පැමිණීමට නියමිතය.
වගා ලිඳට වැටුණු වන අලියා දැක බලා ගැනීමට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් පැමිණියහ. මේ සම්බන්ධයෙන් තිරප්පනය අඩවි වන නිළධාරීන් මෙහෙයුම් සිදු කරනු ලබයි.





