වසර 33 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් ඩීකේපී දසනායක මහතා පෙබරවාරි 16දා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදි.
විශ්‍රාම යනු ලබන රියර් අද්මිරාල් ඩීකේපී දසනායක ජ්‍යේෂ්ඨ නිලධාරියාගේ 55 වන උපන් දිනයද 16 දිනට යෙදී තිබූ අතර, ඒ වෙනුවෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ඇතුළු නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන් විසින්, රියර් අද්මිරාල් ඩීකේපී දසනායක වෙත උපන් දින සුභපැතුම් පිරිනමන ලදි.
අනතුරුව විශේෂ සම්මාන මුරයක් මගින් උත්තමාචාරය පුද කර සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු, නාවික හමුදා මූලස්ථානයෙන් පිටත්ව යන ලදි.
1987 වර්ෂයේදී නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් ඩීකේපී දසනායක, 2006 ජනවාරි මස සිට 2009 අගෝස්තු මස දක්වා වසර 04 කට ආසන්න කාලයක් නාවික හමුදා මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි ලෙසත්, සිය සේවා කාලය තුල නාවික පර්යේෂණ ඒකකයේ අධ්යක්ෂ, සයිබර් ආරක්ෂණ ඒකකයේ අධ්යක්ෂ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ අධ්‍යක්ෂක, අධ්යක්ෂ නාවික ආහාර හා නිළ ඇඳුම්, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ නිලධාරී, අධ්යක්ෂ සැපයුම් කළමනාකරණ පද්ධතිය සහ වයඹ නාවික විධානයේ ආඥාපති ආදී ප්රමුඛ නිලතල දරමින් කටයුතු කල කීර්තිමත් නිලධාරියෙකි.
දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිෂමෙන් මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඔහුට සේවා දිගුවක් ලබාදෙන ලෙසට නිර්දේශ කර තිබියදී ඒ මහතා විශ්‍රාම ගන්වා තිබේ.





