වීරකැටිය මැදමුලන ප්‍රදේශයේදී අද (24දා) පැවැත්වූ ගොවි උද්ඝෝෂණය උණුසුම් මුහුණුවරක් ගත් අතර එය මැඩපැවැත්වීමට පොලිස් නිලධාරින්ටද මැදිහත්වීමට සිදුවිය.
ගොවියන්ට අවශ්‍ය පොහොර ඉල්ලා වීරකැටිය - මිද්දෙණිය මාර්ගයේ මැදමුලන වෙල්යාය අසලදී මෙම උද්ඝෝෂණය ආරම්භ කෙරිණි. මේ සඳහා උද්ඝෝෂණයන් 150ක් පමණ සහභාගී වී සිටි අතර ඌරුබොකුඔය ගොවි ව්‍යාපාරය විසින් මෙය සංවිධානය කර තිබිණි. උද්ඝෝෂකයෝ කළු කොඩි අතැතිව කෑ ගසමින් උද්ඝෝෂණයේ යෙදුණු අතර ඔවුහු පාගමනින් වීරකැටිය මැදමුලන මංසන්ධිය අසළට පැමිණීමට උත්සාහ කළහ. උද්ඝෝකයන් විසින් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ රුවට සමාන අනුරුවක් නිර්මාණය කර තිබූ අතර එය අතැතිව ඔවුහු උද්ඝෝෂණයේ නිරත වූහ.
මෙය මැඩපැවැත්වීමට පොලිසියට සිදුවූ අතර ප්‍රධාන මාර්ගය හරස් කර මාර්ග බාධක සහ වාහන යොදා උද්ඝෝෂකයෝ නැවැත්වීමට පොලිසිය උත්සාහ කළහ.
වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ගෙනා අධිකරණ නියෝගයක් සහකාර පොලිස් අධිකාරී රත්නවීර එල් අඩස්සූරිය මහතා විසින් උද්ඝෝකයන්ට පෙන්වූයේය. ඉන් අනතුරුව පාගමනින් පැමිණි උද්ඝෝෂකයෝ තමන් ගෙනා පඹයෙකු මාර්ගය අයිනේ තබා ගිනිතබා සිය උද්ඝෝෂණය අවසන් කර විසිර ගියහ.







