ඉදිරියේදී ලෝක ආදිවාසී දිනය සැමරීමට කටයුතු නොකරන බවත්, එම සැමරීම් වෙනුවෙන් යන වියදම එම ගම්මාන දියුණු කිරීමට යොදවන බවත් විශ්ව කීර්ති, වනස්පතී වන්නිල ඇත්තන් පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ, අද (09දා) දිනයට යෙදී තිබූ ලෝක ආදීවාසි දින සැමරුමේ රාජ්‍ය උත්සවය අමතමිනි. දඹාන, කොටබකිනිය ගම්මානයේදී මෙම සැමරුම් උත්සවය පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආදිවාසී නායකයා,
“ වරිග සභා 13ක් පවත්වා ආදිවාසීන්ගේ ගැටලු පිළිබඳ සන්දේශ අපි රජයට බාරදීලා තියෙනවා. ඒත් ආදිවාසී ගම්මාන රැසක ගැටලු තාමත් විසඳිලා නැ. මින් පස්සේ ආදිවාසි දින සැමරුම් උත්සව තියන්නේ නෑ කියලා මම තීරණය කළා. ඒ සඳහා යන වියදමින් ඒ ඒ ගම්මානවල ප්‍රධාන ගැටලු හා අධ්‍යාපනය නංවන්න කටයුතු කරන්න මම තීරණය කළා.
වසර 06ක් යන කොට ආදිවාසී ගම්මාන 06ක ප්‍රධාන ගැටලු විසඳිලා. පරම්පරාව සංස්කෘතිය ආරක්ෂා කර ගන්න ඕන නම් මේ අයගේ බඩගින්න නැති කරන්න ඕන. ඔවුන්ගේ ආර්ථිකය දියුණු කරන්න ඕන. රජය විසින් වැඩි දායකත්වය දෙනවා නම් ඒක වඩාත් වැදගත්'' යැයි පවසා සිටියේය.
ලෝක ආදිවාසී ජනගහණයේ අයිතිවාසීකම් නැංවීම හා සුරැකීම අරමුණු කරගෙන සෑම වසරකම අගෝස්තු 09 වැනිදා ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය සමරනු ලැබේ.
රංජිත් කරුණාවීර






