කොළඹ සිට කතරගම වන්දනාවේ පැමිණි හත් දෙනෙකුගෙන් යුත් වෑන් රථයක් ඊයේ (01දා) රාත්‍රියේ කතරගම නීලකාරාමය අසල ඇති පාලමේ ආරක්ෂිත වැට කඩාගෙන මැණික් ගඟට ඇද වැටී තිබේ. කතරගම,ගාමිණීපුර පදිංචි ඉන්ද්‍රජිත් ජයලාල් එහි ගමන් ගත් 07 දෙනකුගේ ජීවිතේ බේරා ගැනීමට සමත්ව තිබේ.සිදුවීම සම්බන්ධයෙන් ඔහු මෙසේ පැවසීය.
“මම රාත්‍රියේ ත්‍රිවිල් රථයෙන් බිස්කට් එකක් ගන්න පාලම ළඟ කඩේට ගියා. මැණික් ගඟේ ජල මට්ටම ඉතාමත් වැඩියි. එකපාරටම පාලම පැත්තෙන් විශාල ශබ්දයක් ඇසුණා. මම හිතුවේ පාලම කඩාගෙන ගියා කියලා. බලන විට පාලම තියෙනවා මම පාලම මතින් දුවගෙන ආවා.ගඟ දෙස බලන විට සුදු පාට වාහනයක් වතුරේ පෙවිලා තියෙනව දැක්කා. ඒකෙ හිටිය අය බේරගන්න කියලා හයියෙන් කෑගහනවා ඇහුණා. මම පාලමෙන් ගඟට පැන්නා. වතුරෙන් වැහෙන වාහනය ළඟට පීනලා ගියා .
ඒ වන විට වාහනයේ වීදුරු දෙකක් කැඩිලා තිබුණේ. මම එතනින් පොඩි ළමයි දෙන්න අරගෙන ගොඩට පීනුවා. ළමයි දෙන්න ගොඩ තියලා නැවතත් පීනුවා. වයස අවුරුදු 65 ක් පමණ අම්ම කෙනෙක් හිටියා. එයත් ගොඩ තියලා ඉතාමත් ඉක්මනින් අනිත් අයත් ගත්තා. මම අවසානයේ රියැදුරා ගත්තා සියලු දෙනා ගොඩට අරගෙන තියලා වාහනය ගසාගෙන යාම වැළැක්වීම සඳහා කඹයක් දාලා ගසක බැන්දා.
මම එම ස්ථානයට ආවෙ නැතිනම් මැණික් ගඟේ වතුර මට්ටම වැඩිවීමත් සමඟ මේ හත්දෙනාගේම ජීවිත මැණික් ගඟට බිලි වෙන්න තිබුණා. වෙහෙරගල ජලාසයේ වාන් දොරටුත් ඇරල තියෙන්නේ. මේ දිනවල මේ ප්‍රදේශයට අධික වර්ෂාව හේතුවෙන් මැණික් ගඟ පිටාර මට්ටමේ තියෙන්නේ.
මට මේ අවස්ථාවේ මගේ ජීවිතය ගැන හිතුණෙ නෑ. මට හිතුණේ අර අයගේ ජීවිත බේරා ගැනීම පමණයි. ගඟට පැනීමෙදි මගේ දකුණු කකුල ගලක වැදුණා. මට ඒ වෙලාවේ ඒකෙ වේදනාවක් දැනුණේ නෑ. හැබැයි මහත්තයෝ දැන් නම් අධික ලෙස රිදෙනවා. පිරිස ගොඩට ගත්තට පස්සේ මට ගොඩාක් පිං දුන්නා.
මගෙන් ඇහුව මොනවද ඕන කියලා. මං කිසිම දෙයක් එපා කිව්වා. මං කිව්වා කතරගම දෙවියන්ට පිං දෙන්න කියලා. ගඟට පැන්නේ නම් මගේ ජීවිතය නැති වුණත් කමක් නෑ කියලා මේ පිරිස බේරගන්නවා කියලමයි. මට දැන් ලොකු සතුටක් දැනෙනවා මං කුඩා කාලයේ සිට මැණික් ගඟේ පීනලා තියෙනවා. ඒ නිසා මට බයක් දැනුණේ නැහැ. මේ ස්ථානයේ කිඹුල්ලු ඉන්නවා මට ඒ ගැනවත් හිතුණෙ නෑ. නැවත මං උදේ ඇවිල්ලා බලන විටයි මට දැනුණේ මම ලොකු අවදානමකටයි මුහුණ දුන්නේ කියල .
මම රියදුරු මහතුන්ගෙන් ඉල්ලනවා වාහන පදවන විට දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස. ඒ වගේම බලධාරීන්ගෙන් ඉල්ලනවා මේ පාලම දෙපැත්තට විදුලි ආලෝකය සපයන ලෙස . නැතිනම් මෙවැනි සිද්ධි තව ඉදිරියටත් මේ ස්ථානයේ සිදු විය හැකියි.”
සෙල්ලකතරගම ආරියපාල රත්නායක /තිස්සමහරාම අසිත වීරසිංහ




