මාදිවෙල බටහිර කලාපයේ කෘෂිකර්ම පද්ධතිය, ඇවිදින මංතීරුව සහ පාපැදි ධාවන මංතීරුව ඉදිකිරීම් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙසින් ආරම්භ කර තිබේ.
අක්කර 23 ක භූමි භාගයක් මෙසේ සංවර්ධනය කිරීමේ කටයුතු සිදු කරනු ලබන්නේ නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය මඟිනි.
අක්කර 23 ක කුඹුරු යාය වගාකිරීමට අමතරව එහි තිබෙන කුඩා වැව ප්‍රතිසංස්කරණය කිරීම ද සිදු කෙරේ.
මෙම කලාපයේ මැද ප්‍රදේශයේ කුඹුරු වගාව සිදුකෙරෙන අතර එහි වටේට ඇවිදින මංතීරුව, පාපැදි ධාවන තීරුව ඉදිකිරීමක් සමඟ අවට ප්‍රදේශවාසීන්ට වඩාත් ප්‍රයෝජනවත් වන ආකාරයෙන් මෙම ප්‍රදේශය සංවර්ධනයට ලක්කෙරේ.
කාබනික පොහොර භාවිතා කරමින් දේශීය වී වර්ග මෙහි වගාකෙරෙන අතර වස විසෙන් තොර ආහාර සංස්කෘතියක් බිහිකිරීම ද මෙහි ප්‍රධාන අරමුණකි.
ගොඩ බෝග වගාව නාගරික කෘෂිකාර්මාන්තයට ඇතුළත් කර එය ක්‍රියාත්මක කරනු ලබන පළමු අවස්ථාවද මෙයවීම විශේෂත්වයකි.
මෙහි ඇවිදින මංතීරුව කිලෝ මීටර් 1.6 ක දිගකින් යුත් අතර පාපැදි ධාවන තීරුවේ දිග කිලෝමීටර් 3.2 කි.
මෙම ඇවිදින මංතීරුව සහ පාපැදි ධාවන තීරුව අසල වෙළෙඳසැල් ඉදිකිරීමටත්, ජනතාවට විවේකිව ගතකළ හැකි ස්ථාන නිර්මාණය කිරීම ඇතුළු ජනතාවට පහසුකම් සැකසීමේ තවත් අංශ කිහිපයක්ම මෙම සංවර්ධන ව්‍යාපෘතියට ඇතුළත් වේ.
ඇඹුල්දෙණිය, මාදිවෙල ප්‍රධාන මාර්ගය ආසන්නයේ මෙම මාදිවෙල බටහිර සංවර්ධන ව්‍යපෘතිය ඉදිකෙරන නිසා එම මාර්ගයේම මාර්ගයට ආසන්නයේ මීටර් 750 ක දුර ප්‍රදේශයක් වාහන නතර කිරීම සදහා වෙන් කර තිබේ.
නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මාදිවෙල බටහිර 1 අදියර යනුවෙන් හැඳින්වෙන මෙම සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා වැයකෙරෙන මුදල රුපියල් මිලියන 249 කි.
මෙම ප්‍රදේශයේ අනවසර පදිංචි පවුල් 12 ක් ඉවත්කර ඔවුන්ට විකල්ප ස්ථානවලින් නව නිවාස ලබාදීමට ද කටයුතු කර ඇත.
පසුගිය මාර්තු මාසයේ මෙම සංවර්ධන කටයුතු ආරම්භ කළ අතර දැනට එම සංවර්ධන කටයුතු වේගයෙන් සිදුකෙරේ. මෙම සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු තවත් මාස 3 ක් ඇතුළත අවසන් කිරීමට නියමිතයි.






