ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශිෂ්‍යභට නිලධාරීන්ගේ 61 වන බඳවා ගැනීම සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 35 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරින් 62 ක් විසිර යාම සහ අධිකාරියට පත් කිරීම ඊයේ (12දා) ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සිදුවිය.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ආරාධනයට අනුව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණ.
පුහුණුවීම් කාල සීමාව තුළදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ මධ්‍ය නිලධාරීන්ට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා අතින් එහිදී විශේෂ සම්මාන ප්රදානය කෙරිණි. ඒ අනුව, කොතලාවල ආර්ක්ෂක විශ්ව විද්‍යාලයේ 35 වන බඳවා ගැනීමේ දක්ෂතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත සහ වෘත්තීය විෂයයන්ගෙන් හා සියළු විෂයයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් මධ්‍ය නිලධාරියාට හිමි සම්මානයන් මධ්‍ය නිලධාරී, ඒකේඑස් පෙරේරා විසින් ද, දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය මධ්‍ය නිලධාරි ඒඑච්ටීටී තාරුක විසින් සහ හොඳම ඉලක්කකරුට හිමි සම්මානය මධ්‍ය නිලධාරී ඩබ්ලිව්ඒ ඉමේෂක විසින්ද හිමි කර ගන්නා ලදී.
නාවික හා සාගරික විද්‍යාපීඨයේ 61 වන බඳවා ගැනීමේ දක්ෂතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත මධ්‍ය නිලධාරී, කේවීආර් කරුණාරත්න විසින් හිමිකර ගන්නා ලද අතර, නාවික විෂයයන්ගෙන්, වෘත්තීය විෂයයන්ගෙන් හා සියළු විෂයයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගැනීම සඳහා වන සම්මානයන් මධ්‍ය නිලධාරී, පීවී කුලසිංහ විසින් ද, දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය, මධ්‍ය නිලධාරි ඒඑච්ජීසී ද සිල්වා විසින් සහ හොඳම ඉලක්කකරුට හිමි සම්මානය, මධ්‍ය නිලධාරී ආර්පීඑල් ද සිල්වා විසින්ද හිමි කර ගන්නා ලදී.
රටේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය සුරැකීමේ අභියෝගය සන්නද්ධ හමුදාවන්ට පැවරෙන බවත්, මව්බිම වෙනුවෙන් සේවය කිරීම සඳහා නාවික හමුදාවට එක්වීමට හැකිවීම සම්බන්ධයෙන් අධිකාරියට පත් නිලධාරීන් සතුටු විය යුතු බවත් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පැවැසීය.
දුෂ්කර පුහුණුවෙන් ලද කායික සහ මානසික ශක්‍යතාවයන් තුලින් ඉදිරියේදී ඇතිවන ඕනෑම අභියෝගයක් පහසුවෙන් ජයගැනීමට අධිකාරියට පත් නිලධාරීන්ට හැකි බවත්, රජය විශාල මුදලක් ජාතික අරාක්ෂාව වෙනුවෙන් වෙන්කරන බැවින්, ඉදිරියේදී නාවික හමුදාවෙන් ලැබෙන සම්පත් අරපිරිමැස්මෙන් සහ උපරිම ඵලදායිතාවයෙන් යුතුව ප්‍රයෝජනයට ගැනීමේ වගකීම තරුණ නිලධාරීන්ට පැවරෙන බවත් ආරක්ෂක ලේකම්වරයා පැවැසීය.







