දඹුල්ල කණ්ඩලම කුඹුක්කඳන්වල දුන්න බිඳුනු වැවේ මව පියා සමග දිය නාමින් සිටි වයස අවුරුදු 7 ක කුඩා පිරිමි දරුවෙකු අද (15දා) පස්වරුවේ කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් ඇතැයි සිගිරිය පොලිසිය කියයි.
කිඹුලා විසින් ඩැහැගෙන ගිය පිරිමි දරුවා සොයා පොලිසිය ජීවිතාරක්ෂක නිලධාරීන් මෙන්ම ගමේ පිරිස් එක්ව මෙහෙයුම් ක්‍රියාත්මක කොට ඇතැයි පොලීසිය කියයි.
මෙසේ කිඹුලා විසින් ඩැහැගෙන ගොස් ඇත්තේ කුඹුක්කඳන්වල ප්‍රදේශ්යේ පදිංචි දඹුල්ල කණ්ඩලම ඩී එස් සේනානායක විදුහලේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ චනුත් සත්සර නැමැති කුඩා දරුවෙකි.
මෙම දරුවා දුන්න බිඳුනු වැවට දිය නෑම සඳහා පැමිණ ඇත්තේ සිය මව පියා සහ කුඩා සහෝදරියද සමගින් බව පොලීසිය කියයි,
සිද්ධිය ඇසින් දුටු දරුවාගේ පියා සඳහන් කළේ මෙම වැවේ කිඹුලන් සිටින නිසා බොහෝ දෙනෙකු දිය නෑම සිදු නොකරන බවය, කෙසේ වෙතත් දින ගණනාවක සිට තම පුතා මෙම වැවෙන් දිය නෑමට අවැසි බව සඳහන් කිරීම් සමග දරුවාගේ ආසාව ඉටු කිරීමට පළමු වතාවට මෙම වැවට දිය නෑම සඳහා පවුලේ සියලු දෙනා පැමිණි බවය.
වතුරට බැස විනාඩි කීපයක් යද්දී එක වැරම තම පුත්‍රයා කකුල සපා කෑ බව පැවසීමත් සමග ඔවුහු ගොඩ ගැනීමට උත්සාහ කළ බවද කියයි, එම අවස්ථාවේ තමන් කිඹුලා සමග විනාඩි කිහිපයක් පොරබදා දරුවා බේරා ගැනීමට දැඩි උත්සාහයක නිරත වෙද්දී එක වැරම තමා අතින් දරුවා ගිලිහුණු වුණු බව පියා හඬා වැටෙමින් බිහිසුණු අත්දැකීම හෙළි කළේය.
මෙම වැවේ කිඹුලන් හය දෙනකු සිටින බවත් ගමේ බොහෝ දෙනෙකු කිඹුල් ප්‍රහාර වලට ලක් වූ බව ප්‍රදේශවාසීහු පවසති ,එම නිසා මෙම වැවේ දැඩි අවධදානම් තත්ත්වයක් පවතින බවද ඔවුහු පවසති.
කිඹුලා විසින් ඩැහැගෙන ගිය කුඩා දරුවා සොයා ප්‍රදේශවාසීන් වැවේ ඔරු යොදාගෙන දැල් යොදාගෙන දැඩි උත්සාහයක මේ වන විට නිරත වෙමින් සිටිති.




