මෙරට වැඩිහිටි ජනගහනයෙන් 42%ක් අධිරුධිර පීඩනයෙන් පෙළෙන අතර රෝගය කල්තබා හඳුනා ගැනීම සහ වළක්වා ගැනීම අත්‍යවශ්‍යව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කළේය.
ඔහු මේ බව සඳහන් කර සිටියේ ‘තෙවන ඇසට සුවය සදමු’ යන මැයෙන් විජය පුවත්පත් සමාගමේ කාර්යමණ්ඩලය සඳහා ඊයේ (30දා) පැවති සෞඛ්‍ය සායනය ආරම්භ කරමිනි.
එසේම මෙරට කාන්තාවන්ගෙන් 48%ක් නියමිත ශරීර බර ප්‍රමාණයට වඩා වැඩි බවත් පිරිමින්ගේ එම ප්‍රතිශතය33.3%ක් වන බවත් එහිදී පෙන්වා දුන් ලේකම්වරයා, බෝ නොවන රෝග සඳහා ප්‍රධානතම හේතුව වී ඇත්තේ පුද්ගල ආහාර රටාව වන බවද පෙන්වා දුන්නේය.
ඒ අනුව මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් මහීපාල මහතා සඳහන් කර සිටියේ,
“සුව අරමුණු කරා ජනතාව ගෙන යාමේදී මාධ්‍යවේදීන්ට හිමිවන්නේ වැදගත් ස්ථානයක්. අපි ඊට දක්වන කෘතවේදීතාව තමයි මේ සායනය හරහා දක්වන්නේ. විජය පුවත්පත් සමාගම මින් පෙරද මෙවැනි සායන සංවිධානය කර සමාජීය වශයෙන් මෙහෙවර ඉටුකර තිබෙනවා. ඒ පිළිබඳ අපේ කෘතවේදීත්වය දක්වා සිටිනවා.” යනුවෙනි.
නොමිලයේ පවත්වන ලද මෙම සායනය සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා ජාතික රෝහල සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා බලගැන්වීමේ ව්‍යාපෘතිය එක්ව සිදු කළ අතර, මෙය විජය පුවත්පත් සමාගමේ සුභසාධක සංගමය විසින් සංවිධානය කරන ලදී. ඒ අනුව මේ සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පුහුණු අංශ ප්‍රධානී , ප්‍රජා වෛද්‍ය විශේෂඥ උත්පලා අමරසිංහ, විජය පුවත්පත් සමාගමේ අධ්යක්ෂ ලාල් ජයවර්ධන, විජය පුවත්පත් සමාගමේ සුභසාධක සංගමයේ සභාපති, විජය ළමා පුවත්පත සහ අද පුවත්පතේහි ප්‍රධාන කර්තෘ දුමින්ද සංජීව බාලසූරිය, ඉරිදා ලංකාදීප පුවත්පතෙහි ප්‍රධාන කර්තෘ කාංචන දසනායක සහ දිනපතා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ අජන්ත අගලකඩ යන මහත්ම මහත්මීන් ඇතුළු එම ආයතන කාර්යමණ්ඩලය එක්ව සිටියහ.
නිදර්ශනි වික්‍රමසිංහ / ඡායාරූප - රුසිරු කොළඹතන්ත්‍රිගේ









