නීරෝගිමත්, විනයගරුක සහ ජව සම්පන්න සමාජයක් බිහිකිරීම උදෙසා ඉවහල්වන ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම යුගයේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
ක්‍රීඩාව තරුණ පරපුරේ භාෂාවයි. අධ්‍යාපනයට සමගාමීව දරුවා ක්‍රීඩාවට යොමු කිරීමෙන් පරිපූර්ණ පුරවැසියකු සමාජයට දායාද කළ හැකි බව එතුමා පෙන්වා දෙයි.
අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ අමාත්‍යාංශවලට ඒ වෙනුවෙන් විශාල වගකිමක් පැවරී ඇතැයි ජනාධිපතිතුමා පවසයි.
ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා, යටිතල පහසුකම්, ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (16) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.
දිවයින පුරා පාසල්වල ක්‍රීඩාවට දක්ෂතා දක්වන දරුවන් කුඩා කලම තෝරාගෙන ඔවුනට අවශ්‍ය නිසි පෝෂණය සහ ජාතික සහ අන්තර්ජාතික පුහුණුව ඇතුළු පහසුකම් සලසන වැඩසටහනක අවශ්‍යතාව ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබීය.
ග්‍රාමීය පාසල්වලට ක්‍රීඩා පිටි දෙන ලෙස ඉල්ලා සිටියද, ඒවා ඉදිකර දීමෙන් පසු නඩත්තු නොකෙරෙන බව බොහෝ ස්ථානවලදී දක්නට ලැබුණු බව ජනාධිපතිතුමා පැවසීය. තණකොළ කැපීම ඇතුළු ඉතා පහසුවෙන් කළ හැකි නඩත්තු සඳහා එතරම් මුදලක් වැය නොවන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
සියලු දිස්ත්‍රික්කවල පාසල්වල ක්‍රීඩා පිටි නඩත්තුව සඳහා වෙනම ඒකකයක් ස්ථාපනය කිරීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.








