ස්මාට්ෆෝන් යනු සුඛෝපභෝගීත්වයේ සංකේතයක් වූ කාලයක් තිබිණි. එනමුත් වර්තමානය වන විට සෑම දෙනෙකුම අතේ පාහේ ස්මාට්ෆෝනයක් තිබෙනා තරමටම එය සුලබ පාරිභෝගික භාණ්ඩයක් බවට පත්වී හමාරව තිබේ. මේ වනවිට අඩු ශක්‍යතා පරාසයේ ස්මාට්ෆෝනයක් රුපියල් දසදහසකට අඩුවෙන් පවා මිලදී ගැනීමට හැකි අතර, සන්නාම රහිත ලාභදායී ස්මාට්ෆෝන් ඊටත් අඩුවට වෙළෙඳපොළේ තිබේ. එය එසේ වුවත් තවමත් වසර දෙක තුනකට පෙර පැමිණි ඇපල් අයිෆෝනයක් පවා අලෙවි වන්නේ රුපියල් ලක්ෂයකට එහායින් වෙයි! එමෙන්ම මෙම වසරේ වෙළෙඳපොළට පැමිණීමට තිබෙනා අයිෆෝනයේ ඉහළම මිලක් වන සංස්කරණය මිලෙන් රුපියල් ලක්ෂ දෙකකට එහා ගොස් ඇත. සැබවින්ම අයිෆෝනයක් යනු සුඛෝපභෝගීත්වයේ සංකේතයක් බවට ඔවුන් පවත්වාගෙන යන කීර්තිය අද වන විටත් පහත බැස නැති බව පෙනේ. තත්ත්වය එසේ නම්, ඔබත් නවීනතම අයිෆෝනයක් මිලදී ගත ගත යුතුද? නවතම iPhone XS හෝ iPhone XS Max උපාංගයන්හි ඇති සුවිශේෂත්වයන් මොනවාද? මේ ඒ සම්බන්ධයෙන් කෙරෙනා විමසුමකි.
ලෝකයේ ස්මාට්ෆෝන් පරිණාමය සාමූහික ගමනක් ලෙසින් ගත් විට, ඇපල් සමාගම මගින් ඒ සඳහා ලබාදෙන දායකත්වය සුළුපටු නොවේ. විශේෂයෙන්ම අයිෆෝන් උපාංග මගින් එක් එක් කාලයකදී ස්මාට්ෆෝන් ලෝකයට සම්පූර්ණයෙන්ම නව වෙනස්කම් හඳුන්වා දෙන අතර, එතැන් සිට අනෙකුත් ස්මාට්ෆෝන් නිෂ්පාදකයින් එම වෙනස්කම් තවත් ඉදිරියට ගෙන යමින් එය ස්මාට්ෆෝන් පරිණාම ගමනේ ස්ථිර මං සලකුණක් බවට පත් කර සිටී. ඒ සඳහා මෑතකාලීන හොඳම උදාහරණය වන්නේ මේ වනවිට බොහෝ ස්මාට්ෆෝන් සඳහා සම්මත නිර්මාණ සැලසුම වී ඇති Notch සැලැස්මයි. එයින් ස්මාට්ෆෝනයේ සම්පූර්ණ මතුපිට පෘෂ්ටයම පාහේ තිරය සඳහා වෙන් කරන්නට උත්සාහ ගන්නා අතර, ඉහළ මධ්‍යයේ කුඩා අවකාශයක් අත්‍යාවශ්‍ය සෙන්සරයන් සඳහා වෙන් කර සිටී. කෙසේ වෙතත් මෙය ඇපල් සමාගමේ පුරෝගාමී අදහසක් නොවනා බවත්, ඔවුන් iPhone X සමගින් පසුගිය වසරේ මෙම සැලසුම ඉදිරිපත් කරනා විට වෙනත් ඇන්ඩ්‍රොයිඩ් ස්මාට්ෆෝන් සමාගම්ද ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටි බවටත් මතයක් වේ.
කෙසේ නමුත් පසුගිය වසරේ ඇපල් සමාගම මගින් iPhone X සමගින් සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කරන්නට යෙදුණු ඇපල් අයිෆෝනයේ පෙනුම, මෙම වසරේ iPhone XS වෙතට පැමිණෙන විටද කිසිදු මූලික වෙනසක් වී නොතිබුණි. එසේම හැකියාවන් අතින්ද විප්ලවීය වෙනස්කම් නව අයිෆෝන් උපාංගය වෙතට හඳුන්වා දීමක් සිදුවී නැත. සිදුවී ඇති මූලිකම දෙය වන්නේ පසුගිය වසරේ iPhone X උපාංගයට වඩා මේ වසරේ iPhone XS හා iPhone XS Max උපාංගයන් වැඩිදියුණු වීම පමණි.
අයිෆෝනයේ තිරය සම්බන්ධයෙන් සලකා බලන්නේ නම් iPhone XS Max හි අඟල් 6.5ක Super AMOLED තිරයක් හා iPhone XS හි අඟල් 5.8ක Super AMOLED තිරයක් තිබෙනා අතර, මෙම වසරේ බජට් අයිෆෝන් සාමාජිකයා වන iPhone XR හි අඟල් 6.1 ක IPS CD තිරයක් තිබේ. එසේම මෙම තිරයන් හි 120Hz touch sensing යනුවෙන් හැඳින්වෙන ස්පර්ශ තිරයේ ස්පර්ෂයන් හඳුනාගැනීමේ හා ප්‍රතිචාර දැක්වීමේ නව දියුණු කිරීමක් දක්නට ලැබේ.
පසුගිය වසරේඅයිෆෝනයේ අන්තර්ගත වූ Apple A11 චිප් පද්ධතිය මගින් ගිගාබයිට් 3 ක රැම් මතකයක්ද සමග එතෙක් මෙතෙක් ඇපල් ඉතිහාසයේ දක්නට ලැබී ඇති වේගවත්ම හා කාර්යක්ෂම හැකියාවන් iPhone X වෙත ලබාදී තිබූ බව ඇපල් සමාගම මගින් පවසා තිබිණ. මෙම වසරේ iPhone XS දක්නට ඇත්තේ Apple A12 Bionic චිප් පද්ධතිය වන අතර, Hexa-core
(2x Vortex + 4x Tempest) ප්‍රොසෙසරයක් මෙහි තිබේ. එමෙන්ම මෙය ගිගාබයිට් 4 ක රැම් මතකයක් සහිතව තවත් වේගවත් හා කාර්යක්ෂම වී තිබේ. මෙම Bionic යන්න වෙළඳ ප්‍රචාරණ උපක්‍රමයක් මිස කෘත්‍රිම විද්‍යුත් යාන්ත්‍රික අවයවයන් සම්බන්ධ යමක් නොවන බවද සඳහන් කරමු. මෙහි four-core ඇපල් ග්‍රැෆික් ප්‍රොසෙසරයක්ද අන්තර්ගතව ඇත. කෙසේ වෙතත් ඇපල් සමාගම පවසන ආකාරයට මෙම නව චිප් පද්ධතිය මගින් 50%ක ග්‍රැෆික් හැකියාවන්ගේ වැඩි වේගයක්ද, 15෴ක ප්‍රොසෙසර බලයේ වැඩි වේගයක්ද, 50෴ක ප්‍රොසෙසර බල පරිභෝජනයේ පහත දැමීමක්ද ලබාදෙනු ඇත. ඇපල් සමාගම හඳුන්වා දී ඇති මෙම මීළඟ පරම්පරාවේ චිප් පද්ධතිය
වෙළෙඳ පොළට පැමිණෙන පළමු නැනෝමීටර් 7ක චිපය වනු ඇත. නමුත් Huawei සමාගමේ Kirin 980 යනු පළමුවෙන්ම නිවේදනය කරනු ලැබූ නැනෝමීටර් 7ක චිපය වනු ඇත. iPhone XS හා iPhone XS Max උපාංගයන් ද්විත්වයම ගිගාබයිට් 64/256/512 යන සංස්කරණයන්ගෙන් වෙළෙඳ පොළට පැමිණෙනු ඇත.
නව iPhone XS හා iPhone XS Max උපාංගයන්හි කැමරාවද වඩාත් වැඩිදියුණු කොට ඇති බව දක්නට ලැබේ. මෙහි ද්විත්ව ලෙන්සයන් සහිත ප්‍රධාන පසුපස කැමරා පද්ධතියක් තිබෙනා අතර එයට 12MP (f/1.8,28mm) ක වයිඩ් ඈන්ගල් ලෙන්සයක් සහ 12MP (f/2.4, 52mm) ක ටෙලිෙෆටෝ ලෙන්සයක් ඇතළත් වේ. මෙයට 4k වීඩියෝ තත්පරයට රාමු 60ක ශීඝ්‍රතාවයෙන් යුතුව ග්‍රහණය කොට ගැනීමට හැකියාව තිබේ. මෙහි ඉදිරිපස සෙල්ෆි කැමරාව7MP f/2.2 32mm ලෙසින් සඳහන්ව ඇත.
නව iPhone XS හි නව චිප් පද්ධතිය මගින් සපයනු ලබන අඩු බල ක්ෂමතාවය සමගින් වුවත්, මෙහි බැටරි බලය එක් ආරෝපණයකින් පවත්වා ගැනීමේ හැකියාව වැඩිවී ඇත්තේ සුළු වශයෙන් බව කිව යුතු වේ. එසේම බැටරියේ 50%ක් මිනිත්තු 30ක් තුළ ආරෝපණය කිරීමේ fast charging හැකියාවද වෙනසක් නොමැතිව මෙහි තිබේ.
මෙම iPhone XS සහ iPhone XS Max උපාංගයන්ට අමතරව වඩාත් අඩු මිල ස්මාට්ෆෝනයක් ගැන සිතන්නවුන් වෙනුවෙන් iPhone XR යනුවෙන් බජට් අයිෆෝනයක්ද හඳුන්වා දීමට ඇපල් සමාගම කටයුතු කොට තිබේ. පසුගියදා ඇපල් මගින් පැවැත්වුණු විශේෂ අවස්ථාවෙහිදී මෙම නව අයිෆෝනයන් සම්බන්ධයෙන් නිල නිවේදනය නිකුත් කරන්නට යෙදුණු අතර, මෙම මස එනම් සැප්තැම්බර් 21 වන දින වන විට iPhone XS, iPhone XS Max උපාංග වෙළෙඳ පොළට නිකුත් කිරීමට හා iPhone XR බජට් අයිෆෝනය ඉන් මසකට පසුව එනම් ඔක්තෝබර් 26 නිකුත් කිරීමටත් ඇපල් සමාගම බලාපොරොත්තු වේ. මෙම ස්මාට්ෆෝනයන් තවමත් වෙළෙඳ පොළට පැමිණ නැති නිසා ශ්‍රී ලංකා වෙළෙඳ පොළේ මේවායේ මිල ගණන් කෙසේ වනු ඇතිදැයි නිශ්චිතවම කිව නොහැක. කෙසේ නමුත් දැනට දැනගන්නට ඇති ආකාරයට iPhone XS උපාංගය රුපියල් 198,900පමණ මිලකටත්, iPhone XS Max උපාංගය රුපියල් 201,900පමණ මිලකටත් අලෙවි වනු ඇත. එසේම ඔවුන්ගේ බජට් අයිෆෝනය වන iPhone XR උපාංගය රුපියල් 189,000පමණ මිලකට අලෙවි වනු ඇත. මෙහිදී සඳහන් කළ යුතු තවත් කරුණක් වන්නේ, ඇපල් සමාගම තවදුරටත් තමන්ගේ පසුගිය වසරේ ජයග්‍රාහකයා වූ iPhone X උපාංගය වෙළෙඳපොළට නිකුත් කරන්නට බලාපොරොත්තු නොවන බවද මෙම විශේෂ ඇපල් අංගයේදීම සඳහන් කිරීමත්, තවමත් ශ්‍රී ලංකා වෙළෙඳපොළේ iPhone X 64GB උපාංගයේ මිල රුපියල් 160,000 පමණ සිට ඉහළටත්, iPhone X 256GB උපාංගයේ මිල රුපියල් 172,000 පමණ සිට ඉහළටත් වන බවයි!
මෙසේ බලනා විට දැනටමත් iPhone X උපාංගයක් භාවිතා කරනා ඇපල් ලෝලීන්ට කීමට ඇත්තේ නව iPhone XS පේ වෙත මාරු වීමට ඉක්මන් නොවනා ලෙසයි. නමුත් ඔබ අයිෆෝනයක් මිලදී ගැනීමට සිතන්නේ නම්, ඔබ සතුව නවීනතම අයිෆෝනය තිබෙනා බව පැවසීම හා ඇපල් මගින් නවතම අයිෆෝනය සඳහා හඳුන්වා දී ඇති වැඩිදියුණු කිරීම් වෙනුවෙන් අමතර රුපියල් විසි දහසක් හෝ තිස් දහසක් පමණ වැය කිරීම ගැටලුවක් නොවන්නේ නම් iPhone XS නැතිනම් iPhone XS Max උපාංගයන් ඔබටම ගැලපෙනු ඇත!