අවසන් පන්දුව දක්වාම ජයග්‍රාහකයා තීරණයක කළ නොහැකි තරමට තීරණාත්මක වූ 'ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි20' තරගාවලියේ අවසන් මහා තරගයෙන් එන්.සී.සී. ක්‍රීඩා සමාජය පරාජය කර එක් කඩුල්ලක තියුණු ජයක් ලැබීමට මුවර්ස් ක්‍රීඩා සමාජය සමත් විය.
කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අද (27දා) පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ මුවර්ස් නායක ඉරෝෂ් සමරසූරිය පළමුව පන්දුවට පහරදීම සඳහා එන්.සී.සී. කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව එන්.සී.සී. නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 07ක් දැවී ලකුණු 173ක් රැස්කිරීමට සමත් විය. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් එන්.සී.සී. ඉනිම හැඩ කළ පැතුම් නිස්සංක පන්දු 38කට මුහුණදෙමින් ලකුණු 52ක් රැස් කළේය. ඔහුට අමතරව නායක මහේල උඩවත්ත ලකුණු 31ක් හා දිනේෂ් චන්දිමාල් පන්දු 19කදී ලකුණු 20ක් රැස්කිරීමට සමත් වූහ. මුවර්ස් වෙනුවෙන් පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූ අදීෂ තිලන්චන කඩුලු 03ක් බිඳළීය.
මෙහිදී ලකුණු 174ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය මුවර්ස් පිතිකරුවෝ කඩුලු 09ක් දැවී ඉනිමේ අවසන් පන්දුවේදී ජයග්‍රාහී කඩයිම පසුකළහ. ඉනිමේ මැදපෙළ ශක්තිමත් කරමින් නිමන්ද මධුසංක පන්දු 23කදී අත්‍යවශ්‍ය ලකුණු 47ක් හා රමේෂ් මෙන්ඩිස් ලකුණු 37ක් මුවර්ස් ඉනිමට එක් කළහ. දිනේෂ් ගුණරත්න කඩුලු 03ක් දවාළීමට සමත් වුවද, අවසන් පන්දුවේදී මුවර්ස් සිය ඉලක්කය පසුකර යෑමත් සමග ඔහුගේ පන්දු යැවීමටද වටිනාකමක් හිමි නොවිණි.
එන්.සී.සී. 173/7 (පන්දුවාර 20)
පැතුම් නිස්සංක 52 (38, 4x6), මහේල උඩවන්ත 31 (24, 4x3, 6x1), දිනේෂ් චන්දිමාල් 20 (19, 4x3), චතුරංග ද සිල්වා 20 (12, 4x1, 6x1), ළහිරු උදාර 19 (15, 4x2, 6x1), අධීෂ තිලන්චන 3/30 (4), ශිරාන් ප්‍රනාන්දු 1/34 (4)
මුවර්ස් 174/9 (පන්දුවාර 20)
නිමන්ද මධුසංක 47 (23, 4x2, 6x4), රමේෂ් මෙන්ඩිස් 37 (37, 4x3), අදීෂ තිලන්චන 26 (22, 4x3, 6x1), ශිරාන් ප්‍රනාන්දු නොදැවී 16 (6, 6x2), ඉරෝෂ් සමරසූරිය 12 (9, 4x1, 6x1), දිනේෂ් ගුණරත්න 3/18 (4), චතුරංග ද සිල්වා 2/20 (4)