ක්‍රීඩා පනතට අනුව ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගත යුතු වුවත් එවන් අවසරයක් ලබා නොගෙන මෙම තරගාවලිය පැවැත්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කළු පැල්ලමක් බව තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා පැවසීය.
රොෂාන් රණසිංහ ඇමතිවරයා මේ බව කියා සිටියේ " සැවොම එක්ව දිනන රටක , දිනවන ක්‍රීඩා හෙටකට " යන මැයෙන් සංවිධානය කර තිබූ 2023 " "ජාතික ක්‍රීඩා දින" සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි.
මෙම උත්සවය ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී ඉකුත් 31 දා පැවති අතර ඊට සමගාමීව දිවයින පුරා යෞවන සමාජ වල පරිහරණය සදහා සඳහා රුපියල් මිලියන දහයක් වටිනා ක්‍රීඩා උපකරණ කට්ටල 165 බෙදා දීමේ වැඩසටහනක් ද සංවිධානය කර තිබුණි.
"ක්‍රීඩා පනතට අනුව ඕනෑම ක්‍රීඩා තරගයක් පවත්වද්දී ඊට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අනුමැතිය ලබා ගන්න ඕනෙ. ඒක තමයි ක්‍රීඩා නීතිය. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය හෝ එල්.පී.එල් තරඟ සංවිධායක කමිටුව හෝ එම අනුමැතිය ලබාගෙන නැහැ. සමහරවිට ඔවුන් හිතනවද දන්නෙ නැහැ ක්‍රීඩා ඇමති එහෙම කිව්වට ඊට වඩා ප්‍රබල අය අපේ පිටුපස ඉන්න නිසා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අවසර ගන්න ඕනේ නෑ කියලා.
පසුගිය කාලේ පැවති එල්.පී.එල් තරහාවලි සඳහා හිටපු ඇමතිවරුන්ගෙන් කොහොම අවසර ගත්තද කියලා මම දන්නෙ නෑ..
නමුත් මම වැඩ කරන්නේ මේ රටේ නීතියට අනුව.ඒ අනුව මම මීට මාසයකට පෙර අවස්ථා දෙකකදී ක්‍රිකට් පාලක මණ්ඩලයට ලිඛිතව දැන්වූවා මෙම තරගාවලිය පවත්වන්නට පෙර ක්‍රීඩා අමාත්‍යංශයේ අවසර ගන්න කියලා. නමුත් ඔවුන් ඒ අනුමැතිය ලබාගන්න කටයුතු කළේ නෑ. ඒ වගේම තමයි මීට පෙර පැවති එකම තරගාවලියක් වත් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අනුමැතිය ලබාගෙනත් නෑ.
මේක ක්‍රිකට් පාලක මණ්ඩලයට ලොකු කළු පැල්ලමක්. මෙන්න මේ කාරණය නිසා එල්.පී.එල් ලංකාවේ සමාරම්භක උළෙලට මට ආරාධනා කරලා තිබුණත් ඊට මා සහභාගි වුණේ නෑ.
අනිත් කරුණ තමයි මම දන්නා තරමින් මෙම තරගාවලියට සහභාගි වන විදේශ ක්‍රීඩකයින්ගෙන් සියයට විස්සකුත් , දේශීය ක්‍රීඩකයන්ගෙන් සියයට පහළොවක බද්දකුත් ගෙවන්න ඕනි.නමුත් ඒ ගෙවීමේ හෝ මේ දක්වා කර නෑ.
මේ දවස්වල ක්‍රීඩාවට ගොඩක් ඇමැතිවරු ඉන්නවා.විශේෂයෙන්ම ක්‍රිකට් වලට. ඒ මේ ආයතනයේ තියන සල්ලි වලට කෙල හලන නිසා. ක්‍රීඩාව පිරිහිලා තියෙන්නෙ විනය නැති නිසා , ඒ නිසා අපි මුලින්ම ගොඩනැගිය යුත්තේ ක්‍රීඩාවේ විනයයි.
පසුගිය කාලේ මට චෝදනාවක් තිබ්බ ක්‍රිකට් ආයතනයේ සිද්ධිය සම්බන්ධයෙන් මුනිවත රකිනව කියල. ඒ අයට අමතක වෙලා තියෙනවා ඕස්ට්‍රේලියානු ගමනෙදි සිදුවූ දූෂණ සම්බන්ධයෙන් සොයා බලන්න හිටපු විනිසුරුවරියක වන කුසලා සරෝජනී මහත්මියගෙ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළේ රොෂාන් රණසිංහ බව.
ඒ වගේම ඉදිරිපත් වූ එම කමිටු වාර්තාව නීතිපතිතුමාගේ අවධානයට යොමු කරලා අධිකරණයට ඉදිරිපත් කළේ මම කියලත් ඔවුන්ට මතක නෑ. ඒ විතරක් නෙමේ එම කමිටු වාර්තාව විගණකාධිපතිවරයා වෙත යොමුකරලා පියවර ගත්තේත් , ඕස්ට්‍රේලියාවේදී ධනුෂ්ක ගුණතිලක සිදු කළ විනය විරෝධී කටයුතු සම්බන්ධයෙන් එරට පවතින නඩු කටයුතු අවසන් වන තෙක් ඔහුගේ ක්‍රිකට් තහනම් කළෙත් මම කියලා ඔවුන්ට අමතකයි."
ශාන්ත කුලරත්න