ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් 2023 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවට නැතුවම බැරි ක්‍රීඩකයෙකු වන බවත්, ඔහු මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට සිටින හොඳම ආයෝජනයක් බවත් සුපිරි වේගපන්දු ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ ඔහුගේ 'නයින්ටි නයින්' (NINTY9) යූ ටියුබ් නාලිකාවට වීඩියෝවක් එක් කරමිනි.
ධනංජය ලක්ෂාන්ට ස්වාභාවිකව දකුණත් පිතිකරුවන්ට පන්දුව ඇතුළට දෝලනය කිරීමේ සුවිශේෂී හැකියාවක් පවතින බවත්, එහෙයින් වත්මන් තේරීම් කමිටුව ඔහු කෙරෙහි විශ්වාසය තබමින් එංගලන්තයට එරෙහි සංචිතයට එක් කිරීම ධනාත්මක කරුණක් බවත් ඔහු එහිදී සඳහන් කර සිටියේය.
දෝලනය තුළින් නව පන්දුවෙන් මෙන්ම වේගය අඩාල කර යැවිය හැකි පන්දු මිශ්‍රණයක් ඔහු සතු වීම හේතුවෙන් ඉනිමේ අවසන් පන්දුවාර තුළදී ධනංජය ලක්ෂාන්ට කණ්ඩායම වෙනුවෙන් වැඩි කාර්යයක් ලබා දිය හැකි බව ලසිත් මාලිංග පවසයි.
එමෙන්ම ඉනිමක මැද පන්දුවාර තුළදී ද ඔහු කඩුලු ලබා ගැනීමට උත්සාහ නොකර ලකුණු ලබා නොදී පන්දු යවන ආකාරය පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම ධනාත්මක කරුණක් බව මාලිංගගේ අදහසයි.
ධනංජය ලක්ෂාන් නව පන්දුවෙන් වැඩි දක්ෂතාවක් දක්වන බැවින් ඔහු කණ්ඩායමට කැඳවීමේදී ඒ පිළිබඳ අවධානය යොමු කර හැමවිටම නව පන්දුවෙන් පන්දු යැවීමේ අවස්ථාව ඔහුට ලබාදිය යුතු බවත්, මේ වනවිට ඔහු පරිපූර්ණ ක්‍රීඩකයෙකු ලෙස හඳුන්වාදිය හැකි බවත් හෙතෙම අවධාරණය කළේය.
ධනංජය ලක්ෂාන් මෙන්ම වනිඳු හසරංගද තරගයක් වෙනස් කළ හැකි ක්‍රීඩකයන් බවත්, ඔවුන් දෙදෙනා තරගය පුරාම ඒ මානසිකත්වයෙන් ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට සුබවාදී කරුණක් බවත් මාලිංග පැවසීය.
වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුව (ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව) 2023 ලෝක කුසලානය සම්බන්ධයෙන් අවධානය යොමු කර ශාරීරික යෝග්‍යතාවෙන් යුත් තරුණ ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් එංගලන්ත සංචාරයට යොමු කිරීම ඉතා හොඳ ක්‍රියාවක් බවද මාලිංග මෙහිදී පෙන්වා දුන්නේය.