විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සහ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබෙන ලබන වසරේදී (2020 වසරේ) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් 08ක් (සංචාර 08ක්) මෙරට සංචාරය කිරීමට නියමිත අතර, ඉන් රටවල් 06ක් මේ වනවිට එම තරග සඳහා සහභාගී වන බව ස්ථිර කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු 'අද' පුවත්පතට පැවසීය.
2020 වසරේ ජනවාරි මස අවසනදී ශ්‍රී ලංකාව සහ ටෙස්ට් වරම් හිමිකර ගත් අයර්ලන්තය සමග ප්‍රථම ටෙස්ට් තරගය මෙරටදී පැවැත්වීමට නියමිත අතර (පෙබරවාරි 03-07දා දක්වා), අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක්දින තරග 03ක් සහ විස්සයි20 තරග 02ක් සඳහා (පෙබරවාරි 10-28දා දක්වා) මෙරටට පැමිණීමට නියමිතය.
ලබන වසරේ මාර්තු මස 03 වැනිදා සිට මාර්තු මස 31 වැනිදා දක්වා තරග 02කින් යුත් ටෙස්ට් තරගාවලියක් එංගලන්තය සමග පැවැත්වේ. එම පළමු ටෙස්ට් තරගය මාර්තු 19දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීද, දෙවැනි ටෙස්ට් තරගය මාර්තු 27දා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීද පැවැත්වීමට සැලසුම් කර තිබේ. අනතුරුව ජුනි මස 01 වැනිදා සිට 19දා දක්වා දකුණු අප්‍රිකාවද (එක්දින තරග 03ක් සහ විස්සයි20 තරග 03ක්), ජුනි මස 26දා සිට ජුලි මස 10දා දක්වා ඉන්දියාවද (එක්දින තරග 03ක් සහ විස්සයි20 තරග 03ක්) මෙරට සංචාරය කිරීමට නියමිතය.
ජුලි මස 27 වැනිදා සිට අගෝස්තු මස 14දා දක්වා බංග්ලාදේශය සමග ටෙස්ට් තරග 03ක්ද අනතුරුව සිම්බාබ්වේ සමග ඔක්තෝබර් 12-23දා දක්වා එක්දින තරග 03ක් සහ විස්සයි20 තරග 02ක්ද මෙරටදී පැවැත්වීමට නියමිතය.
රටවල් 02ක සංචාර පිළිබඳව තවමත් සාකච්චා කරමින් පවතින බවත්, ලබන වසරේ කාර්යබහුල ක්‍රිකට් කාලසටහනක් පවතින හෙයින් එම සංචාර පිළිබඳව තවමත් අවසන් තීන්දුවක් ගැනීමට නොහැකි වී ඇති බවද වාර්තා වේ.
ඒ අතර, ජනවාරි මස 13දා සිට 31දා දක්වා ටෙස්ට් තරග 02කට මෙරටට පැමිණීමට නියමිතව තිබූ සිම්බාබ්වේ තරගාවලියද ඇතුළත්ය. බොහෝවිට එම තරගාවලිය අත්හැර දමනු ඇතැයි සැලකෙන අතර, මේ වන විට වෙනත් කණ්ඩායමක් සමග එම තරගාවලිය පැවැත්වීමටද සැලසුම් සකස් කරමින් සිටින බව හෙළිවේ.
මේ අනුව 2020 වසර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට මෙන්ම මෙරට ප්‍රේක්ෂකයන්ටද අතිශය කාර්යබහුල වසරක් වනවා නොඅනුමානයි.
කෙසේ වෙතත් මෙම සංචාරවලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වැඩි ආදායමක් හිමිකරගත හැකිවනුයේ එංගලන්ත සහ ඉන්දියානු තරගවලින් බවද වාර්තා වේ.