ශ්‍රී ලංකා වූෂු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන 16 වැනි ජාතික වූෂු ශූරතා තරගාවලිය අද (01දා) සිට දින හතරක් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තාඔලු අංශයෙන් දුෂ්කර අභ්‍යාස සහිත ඉසව් සහ සන්දා, ද්වන්ද සටන් ඉසව් මෙහි පැවැත්වෙන අතර, සන්දා අංශයට පිරිමි බර පංති 11ක්ද, කාන්තා බර පංති 07ක්ද ඇතුළත්ව ඇත.
එළැඹෙන නොවැම්බර් මස චීනයේ පැවැත්වෙන පළමු ආසියානු සම්ප්‍රදායික තරගාවලිය සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ තරග ලෙස සාම්ප්‍රදායික ඉසව්ද මෙයට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. තවද 2019 වසරේදී නේපාලයේ කත්මන්ඩු නුවර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට නියමිත ජාතික පුහුණු වූෂු සංචිතයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමද මෙහිදී සිදුකෙරේ.
අද (01දා) උදෑසන 8.00 ට තරගකරුවන් ලියාපදිංචිය සහ සන්දා අංශයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ බර මැනීම සිදුකෙරෙන අතර, මෙයට අයදුම්පත් යොමුකරන ලද කණ්ඩායම්වල අදාළ කළමනාකරුවන්ගේ රැස්වීම පෙ.ව. 11.00 ට පැවැත්වේ.
කෙසේ වෙතත් මෙහි සමාරම්භක උත්සවය හෙට (02දා) පෙ.ව. 10.00 ට ආරම්භ වන අතර, එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා රාජ්‍ය ඇමතිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය සහ විශේෂ ආරාධිතයා ලෙස ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා සහභාගි වෙති.
සමාප්ති උළෙල 04 වැනිදා සවස 4.00 ට පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. මෙවර ජාතික වූෂු ශූරතා තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 කට ආසන්න පිරිසක් සහභාගි වනු ඇති බවට ශ්‍රී ලංකා වූෂු සම්මේලනයේ අපේක්ෂා කරයි.
මෙවර තරගාවලියේ සමාප්ති දිනයේදී ෂැවොලිං සංදර්ශණයක්ද පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව තුළ සාම්ප්‍රධායික මුල්පෙළේ ෂැවොලිං සංදර්ශණයක් පැවැත්වෙන පළමු අවස්ථාව බව ශ්‍රී ලංකා වූෂු සම්මේලනයේ සභාපති මානෙල් ධර්මකීර්ති මහතා සඳහන් කරයි.