අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජෝසප් (සෙප්) බ්ලැටර්ට මූල්‍ය අපරාධ චෝදනා ගොනු කිරීමට වත්මන් ෆිෆා පාලනාධිකාරිය පියවර ගෙන ඇත. ඒ ඔහු විසින් සිය ධුර කාලයේදී ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් සිදුකරන ලදැයි පැවසෙන ලද මහාපරිමාණ මූල්‍ය වංචාවක් හේතුවෙනි.
ෆිෆා හි මූලස්ථානය පිහිටි ස්විට්සර්ලන්තයේ සුරිච්වල පිහිටි කෞතුකාගාරයක මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් හිටපු සභාපතිවරයාට මෙම චෝදනා එල්ල වී ඇත. එහිදී ෆිෆා සංවිධානයට අයත් නොවන මෙම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය උදෙසා බ්ලැටර්ගේ පෙර පරිපාලනය විසින් ස්විස් ෆ්රෑන්ක් මිලියන 500 (රු. බිලියන 80කට ආසන්න) මුදලක් වැය කිරීම සහ අහිතකර කොන්දේසි මත දිගුකාලීන කුලී ගිවිසුමකට එළඹීම වැනි කරුණුද ඔහුට එරෙහිව ඇති චෝදනා අතරට අයත්වේ.