පාකිස්ථානු හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ෂොයිබ් අක්තාර් සිය සමාජ මාධ්‍ය තුළ පලකළ වීඩියෝවක් හේතුවෙන් අර්බුදයකට මුහුණ පා ඇත. මෙම වීඩියෝවේ දැක්වෙන්නේ එරට වසාදමා (lockdown) ඇති මෙම කාළය තුළදී ෂොයිබ් බයිසිකලයක නැගී නගර සංචාරය කරන අයුරුය. ‘මගේ අලංකාර නගරයේ බයිසිකල් සවාරිය, යහපත් කාළගුණය, හිස් පාරවල්, නියම ව්‍යායාමය’ යනුවෙන් ඔහු සිය වීඩියෝව නම් කොට ඇත. කෙසේ වෙතත් කෝවිඩ්-19 වෛරසය පැතිරීම පාලනය කිරීමට එළඹෙන අප්‍රේල් 14 වනදා දක්වා පාකිස්ථානය වසාදමා ඇති අවස්ථාවක ෂොයිබ්ගේ මෙම ක්‍රියාව ජනතාවට නරක ආදර්ශකයක් සැපයීමක් බව බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත.
මීට පෙර ෂොයිබ් මෙවැනිම වීඩියෝවක් මගින් මෙම කෝවිඩ්-19 වෛරසයේ පැතිරීයාම වැලැක්වීමට ජනතාව උනන්දු කළ අතර එමගින් ජනතාව එළියට බැසීමෙන් වලකින ලෙසද ඔහු ඉල්ලා සිටියේය. නමුත් ඔහුම එය කඩ කරන ආකාරයේ මෙම සිදුවීම බොහෝ දෙනාගේ අප්‍රසාදයට ලක්වී ඇති අතර ඔහුගේ ක්‍රියාව ආත්මාර්ථකාමී බව ඇතැමෙකුගේ අදහස වී ඇත. පාකිස්ථානය තුල මේ දක්වා වාර්තා වූ කෝවිඩ්-19 ආසාධිතයින් සංඛ්‍යාව 5200 කට ආසන්න වී තිබූ අතර සිදුවූ මරණ සංඛ්‍යාවද 90 ට ආසන්න විය.