ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ශිරාන් ප්‍රනාන්දු කලින් කෝවිඩ්-19 ධනාත්මක තත්වයක් පෙන්නුම් කළද ඔහු නිරෝධායනයට ලක් කොට පරීක්ෂණ මගින් කෝවිඩ් සෘණාත්මක තත්වයට පත්වූ පසු ඔහු බංග්ලාදේශ සංචාරයට එක් කර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.
බංග්ලාදේශ සංචාරයට එක්වූ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් ක්‍රීඩකයෙකු වූ ශිරාන් කෝවිඩ්-19 ධනාත්මක තත්වයට පත්වීම පිළිබඳ අප කළ විමසුමකදී හෙතෙම මේ බව පැවසීය.
මේ අතර ඉසුරු උදාන සමගින් බංග්ලාදේශ මාධ්‍යවේදීන් පැවැත්වූ සජීවී මාධ්‍ය සාකච්ඡාව පිළිබඳ අප කළ විමසුමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවේ එවැනි මාධ්‍ය සාකච්ඡාවක් ගැන තමන් කරුණු නොදන්නා බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ශිරාන් ප්‍රනාන්දු කෝවිඩ්-19 ධනාත්මක වීමේ වෛද්‍ය විද්‍යාත්මක පසුබිම පිළිබඳ අප කළ විමසුමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන කමිටුවේ හිටපු සභාපති මහාචාර්යය වෛද්‍ය අර්ජුන ද සිල්වා මහතා පැවසුවේ කෝවිඩ් සුව අතට හැරුණද ශරීරය තුළ වෛරසය අජීවී තත්වයෙන් පැවතිය හැකි බවයි. එහිදී පී.සී.ආර් පරීක්ෂණ ධනාත්මක තත්වයක් පෙන්නුම් කළ හැකි නමුත් අජීවී වෛරස් මගින් වෙනත් පුද්ගලයෙකුට ආසාදනය වීමේ හැකියාවක් නොමැති බවද හෙතෙම මෙහිදී පැවසීය.