කෙන්යාවේ නයිරෝබිහි නයෝ ක්‍රීඩා සංකීර්ණයේදී අද (18දා) ආරම්භ වූ ලෝක කනිෂ්ඨ (අවු. 20න් පහළ) මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 4x400 මිශ්‍ර සහාය ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහි අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.
මීටර 4x400 මිශ්‍ර සහාය තරග ඉසව්වෙන් ජාත්‍යන්තර තරග ඉසව්වකට ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගි වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, එම අවස්ථාවෙන්ම අවසන් තරගයට සුදුසුකම් ලැබීම සුවිශේෂී වෙයි.
මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු සුදුසුකම් ලැබීමේ තරගයට (Heat-1) සහභාගි වූ අතර, එහිදී විනාඩි 3.26.62ක කාලයක් වාර්තාකර 05 වැනි ස්ථානය දිනාගත්තේය. මෙය ශ්‍රී ලංකාව වාර්තාකළ පෞද්ගලික හොඳම කාලයද විය. ඒ අනුව සුදුසුකම් ලැබීමේ සමස්ත අදියර දෙක අවසානයේ ශ්‍රී ලංකාව වාර්තාකළ කාලය, සමස්ත අදියර අනුව 06 වැනි වේගවත්ම කාලය වූ අතර, එය ඔවුන්ට අවසන් තරගයට පිවිසීමට අවස්ථාවක් විය.
මෙම කණ්ඩායමට ඉසුරු කෞෂල්‍ය අබේවර්ධන (මතුගම ආනන්ද ශාස්ත්‍රාලය), තරුෂි කරුණාරත්න (වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලය), සයුරි ලක්ෂිමා මෙන්ඩිස් (ගම්පහ සිරිකුරුස විද්‍යාලය) හා රවිඳු බණ්ඩාර (වැකඩ මහා විද්‍යාලය) ඇතුළත් විය.
මෙම ඉසව්වේ අවසන් මහා තරගය අද (18දා) පැවැත්වෙන අතර, එය තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 7.45ට පැවැත්වීමට නියමිතව ඇත.
මේ අතර කාන්තා මීටර 100 මූලික වටයේ තරගද අද පැවැත්විණි. ඒ සඳහා සහභාගි මේධානි ජයමාන්න අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත් වූවාය. මෙහිදී සිව්වැනි සුදුසුකම් ලැබීමේ තරගයට සහභාගි වූ මේධානි, තත්. 12.01ක කාලයක් වාර්තා කර ඉසව්වේ 06 වැනියා ලෙස තරගය අවසන් කළාය.
කෙසේ නමුත් සමස්ත සුදුසුකම් ලැබීමේ අදියර 05 අවසානයේදී ඇයට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන ක්‍රීඩිකාවන් 24 දෙනා අතරට එක්වීමට වාසනාව උදාවූවාය. ඇය වාර්තාකළ කාලය අනුව 24 වැනි ස්ථානය හිමි වූවාය.
මෙම ඉසව්වේ අදියර තුනකින් පැවැත්වෙන අවසන් පූර්ව වටයේ තරග ශ්‍රී ලංකා වේලාවෙන් අද ප.ව. 6.40ට ආරම්භවීමට නියමිතව ඇත.
මේ අතර මීටර 400 පිරිමි මූලික වටයේ තරගද අද පැවැත්වෙන අතර, ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉසුරු කෞෂල්‍ය අබේවර්ධන සහගාගි වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද ප.ව. 2.10ට පැවැත්වීමට නියමිතව ඇත.
මෙම තරගාවලියට සහභාගි වීම සඳහා ක්‍රීඩකයන් 03 දෙනෙක් සහ ක්‍රීඩිකාවන් 04 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය ඉරිදා (15දා) දිවයිනෙන් පිටත්ව ගියේය. මෙය එළබෙන 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.
රටවල් 119ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 973ක් මේ සඳහා සහභාගිවීමට නියමිතව ඇති අතර, ඔවුන් සමස්ත තරග ඉසව් 44ක් යටතේ තරග වඳිනු ලබයි.