එක්දින හා පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා එංගලන්තය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු පුහුණු තරගය අද (16දා) පැවැත්වේ. ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් අතර පැවැත්වෙන මෙම පුහුණු තරගය පන්දුවාර 50 තරගයක් ලෙසින් පැවැත්වේ.
එක්දින තරග 03ක් සහ විස්සයි20 තරග 03ක් සඳහා ක්‍රීඩා කිරීමට එංගලන්තය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, ඉන් එක් තරගයක් පන්දුවාර 50ක තරගයක් ලෙසත්, අනෙක් තරගය විස්සයි20 තරගයක් ලෙසත් පැවැත්වේ.
ඒ අනුව ශ්‍රී ලංකාව සහභාගිවන එකම විස්සයි20 පුහුණු තරගය එළඹෙන 18 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත. මෙම පුහුණු තරගය ද ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයන් අතර පැවැත්වේ.
කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම සංචාරය ආරම්භ කිරීමේදී එළඹෙන 18 වැනිදා කෙන්ට් කණ්ඩායම සමගින් පන්දුවාර 50 තරගයකටත්, 20 වැනිදා සසෙක්ස් කණ්ඩායම සමගින් විස්සයි20 තරගයකටත් ක්‍රීඩා කිරීමට සූදානමින් සිටියේය. කෙසේ නමුත් සෞඛ්යාරක්ෂිත හේතූන් මත එම පුහුණු තරග දෙකම මේ වනවිට අවලංගු කර ඇත.
මේ අතර ශ්‍රී ලංකා සමග පැවැත්වෙන විස්සයි20 තරගාවලියට ක්‍රීඩාකරන එංගලන්ත සංචිතය පසුගියදා නම්කළ අතර, ඊට ඔයින් මෝගන්ගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 16 දෙනෙකු නම්කර ඇත. එළඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සූදානම් වන එංගලන්තය, ඒ සඳහා අත්හදා බැලීමක් ලෙස මෙම සංචිතයට වසර කිහිපයක් විස්සයි20 කණ්ඩායමේ ස්ථානය අහිමි වූ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ඇතුළත් කර ඇත.
ඒ අනුව 2015 වසරෙන් පසුව පළමු වරට ක්‍රිස් වෝක්ස්, 2018 වසරෙන් පසු ලියම් ඩෝසන් හා 2019 වසරෙන් පසු ඩේවිඩ් විලී කැඳවා ඇත. කෙසේ නමුත් එළඹෙන අළුබඳුන තරගාවලියටද එංගලන්තය සූදානම් වන හෙයින් අබාධයන්ට ලක්ව සිටින බෙන් ස්ටෝක්ස්, ජොෆ්රා ආචර් මෙම තරගාවලියෙන්ද විවේක ගැන්වීමට තීරණය කර ඇත.
දෙරට අතර පැවැත්වෙන පළමු විස්සයි20 තරගය මේ මස 23 වැනිදා ආරම්භ වන අතර, ඒ සඳහා සූදානම් වීම උදෙසා එංගලන්ත කණ්ඩායම එළඹෙන සෙනසුරාදා (19දා) කාර්ඩිෆ් බලා පිටත්ව යාමට නියමිතව ඇත.
එංගලන්ත සංචිතය
ඉයන් මෝගන් (නායක), මොයින් අලි, ජොනී බෙයාස්ටෝව්, සෑම් බිලින්ස්, ජොස් බට්ලර්, සෑම් කරන්, ටොම් කර්න්, ලියම් ඩෝසන්, ක්‍රිස් ජෝඩන්, ලියම් ලිවිංස්ටෝන්, ඩේවිඩ් මාලන්, ආදිල් රෂීඩ්, ජේසන් රෝයි, ඩේවිඩ් විලී, ක්‍රිස් වෝක්ස්, මාර්ක් වුඩ්