2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන අවසන් තරගකරුවා වන මැතිල්ඩා ක්ලාසන් තරග වඳින තුරගතරග තරගය හෙට (03දා) පැවැත්වේ.
මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 3.30ට (ජ.වේ. ප.ව. 7.00) ආරම්භ වීමට නියමිත අතර, එහිදී ඇය 13 වැනි තරගකරුවා ලෙස තරගය ආරම්භ කිරීමට නියමිතව ඇත. කාන්තා හා පිරිමි දෙපාර්ශ්වයේම සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගයට තරගකරුවන් 70 දෙනෙකු සහභාගිවීමට නියමිතව ඇත.
ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලැබූ පළමු වැනියා වූයේ 36 හැවිදිරි මැතිල්ඩා කාල්සන්ය. මෙරට තුළ තවමත් ආධුනික මට්ටමේ තිබෙන ක්‍රීඩා ඉසව්වක් වන අශ්වාරෝහක නැතහොත් තුරග තරග ක්‍රීඩාව නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලකට සහභාගිවන පළමු ශ්‍රී ලාංකිකයා ඇය වෙයි.
'අශ්වාරෝහක' ශ්‍රී ලංකාව තුළද ක්‍රියාත්මක වන ආකර්ෂණීය ක්‍රීඩාවක් වුවත්, අනෙකුත් ක්‍රීඩාවන්ට සාපේක්ෂව ජනප්‍රියත්වය ඉතාමත් අඩුය. ශ්‍රී ලංකාව තුළ මෙම ක්‍රීඩාවට වසර සිය ගණනකට එපිට අතීතයක් ඇති තිබෙනවා වුවද, අදටත් එය හඳාරන්නේ ඉතාමත් සුළු පිරිසකි. එනිසා මෙරට තුළ මෙම ක්‍රීඩාව තවමත් පවතින්නේ ආගන්තුක ලෙසිනි. විශේෂයෙන් අශ්වාරෝහක ක්‍රීඩාව හැඳෑරීමට අධික වියදමක් දැරිය යුතු අතර, ඊට හුරුවීමද අපහසුය.
කෙසේ නමුත් කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ පරිදි මෙවර ඔලිම්පික් උළෙලට අශ්වාරෝහක ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැඳීමට මැතිල්ඩා කාල්සන් වරම් හිමිකර ගත්තාය. "චොපින්" නම් අශ්වයා සමඟින් තරග වඳින මැතිල්ඩා, 'Show Jumping' ඉසව්ව නියෝජනය කරමින් තරග සඳහා ඉදිරිපත් වේ.
මැතිල්ඩා කාල්සන් ශ්‍රී ලාංකේය ක්‍රීඩිකාවක වුවත්, එම නාමයේ යම් ආගන්තුක බවක් ඇත. ඒ ඇය ශ්‍රී ලංකාවේ උපන්නද, ඇය හැදී වැඩුණේ ස්වීඩනයේ බැවිනි. එමෙන්ම ඇය මේ වනවිට දිවි ගෙවන්නේ ජර්මනියේය. මැතිල්ඩාගේ උපන්ගම වන්නේ මහනුවර වන අතර, ඉපදී මාස තුනක් වැනි කෙටි කලකදීම ඇයව ස්වීඩන් ජාතික යුවලක් වෙත ලබාදී තිබේ.
ස්වීඩනයේ හැඳීවැඩුනු මැතිල්ඩා, කුඩා කළ සිටම අශ්වාරෝහක ක්‍රීඩාවට දැඩි සේ ඇලුම් කළාය. ඒ නිසාම ඇය වයසින් මුහුකුරායෑමත් සමග වෘත්තීමය තුරගතරග ක්‍රීඩිකාවක් බවට පත්වූවාය.
ඇය ජර්මනියේ, හැම්බර්ග් නගරය කේන්ද්‍ර කරගත් තුරග තරග රැසකට සහභාගි වී ඉහළ දක්ෂතා දැක්වීමට සමත් විය. එමෙන්ම අශ්වාරෝහක ක්‍රීඩාවේ ලොව ප්‍රධානම තරගාවලියක් ලෙසින් සැලකෙන %ග්ලෝබල් චැම්පියන්ස් ලීග්^ තරගාවලියටද සහභාගි වී ඇත. දිනෙන් දින මෙම ක්‍රීඩාවෙන් දැක් වූ නිපුණත්වය නිසාම ඇය ලොව පුරා රටවල් රැසක තරග සඳහා ඉදිරිපත් වී ඉහළ දක්ෂතා දැක්වීමට සමත් වූවාය. ඒ අනුව ඇයට ඔලිම්පික් වරම් හිමිකර ගැනීමේ මඟ විවර වූවාය.
ඔලිම්පික් උළෙලේ අශ්වාරෝහක තරග Jumping, Dressage, Eventing ලෙස ඉසව් 03ක් යටතේ පැවැත්වෙන අතර, එය තරගකරුවන් විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ඉසව්වකි.
ඔලිම්පික් උළෙල සඳහා අශ්වාරෝහක ක්‍රීඩාවෙන් සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමිවන්නේ 'FEI' (International Federation for Equestrian Sports) ශ්‍රේණිගත කිරීම්හි ඉහළම ප්‍රසාද ලකුණු හිමිකරගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වේ. ඒ හැරෙන්න ආරාධිත අවස්ථාව අනුව ගිණිකොන දිග ආසියාවෙන් මෙන්ම ශ්‍රී ලංකාව ඇතුළුව ඕෂනියා කලාපයෙන්ම එම අවස්ථාව හිමිවන්නේ දෙදෙනෙකුට පමණි. ඒ අනුව මෙම ද්විත්ව කලාපයෙන්ම Jumping තරග ඉසව්වට සුදුසුකම් ලබාගත්තේ මැතිල්ඩා හා චීන තායිපේහි ජැස්මින් සඕ-මන් චෙන් පමණි.
මෙවර ඔලිම්පික් උළෙලට සුදුසුකම් සපුරාගැනීමේ අරමුණින් මැතිල්ඩා 2018 වසරේදී ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාගත්තාය. ඇය ඔලිම්පික් සුදුසුකම් ලැබීමට පෙර ලෝක ශ්‍රේණිගත කිරීම්හි 1200 වැනි ඉතා පහළ මට්ටමක පසු වූවත්, මාස 09ක් වැනි කෙටි කලකදීම ඇයට ලෝක ශ්‍රේණිගත කිරීමේ 265 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට හැකිවිය.