එක්දින පිටියේදී සුවිශේෂී වාර්තා තැබූ, ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨ වේගපන්දු යවන්නෙකු වන චමින්ද වාස්ගේ සුවිශේෂී වාර්තාවකට අද දිනට දශක දෙක සම්පූර්ණ වේ. වාස් විසින් 2003 වර්ෂයේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තැබූ මෙම වාර්තාව වූයේ පළමු පන්දුවාරයේ, පළමු පන්දු ත්‍රිත්වයේදීම ප්‍රතිවාදී කඩුළු ත්‍රිත්වයක් බිඳ හෙලීමයි. විශේෂත්වය වන්නේ දශක දෙකක් ගත වුවද එක්දින පිටියේදී මෙවැනි දස්කමක් තවමත් වාර්තා නොවීමයි.
පළමු පන්දුවාරයේ පළමු පන්දු ත්‍රිත්වයේ තබා පළමු පන්දුවාරයේදීවත් කඩුළු ත්‍රිත්වයක් වාර්තා කිරීමට එක්දින පිටියේදී කිසිදු පන්දු යවන්නෙකු මේ දක්වා සමත් නොවීමද මෙහිදී කැපී පෙණෙයි. එමෙන්ම 2019 වර්ෂයෙන් අනතුරුව මේ දක්වාම එක්දින පිටියේදී කඩුළු ත්‍රිත්වයක් වාර්තා නොවීමද සුවිශේෂීය.
2003 වර්ෂයේ පෙබරවාරි 14 වැනිදා වාස් මෙම සුවිශේෂි දස්කම දැක්වුයේ එම වර්ෂයේ දකුනු අප්‍රිකාවේදී පැවති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගයේදී බංග්ලාදේශයට එරෙහිවය. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කළ වාස්ගේ ගොදුරු බවට පත්වූයේ හනන් සර්කාර් (පන්දුව කඩුල්ලේ වැදීමෙන්), මොහොමඩ් අෂ්රෆුල් (පන්දු යැවීම හා උඩපන්දුව වාස් විසින්) හා එසනුල් හක් (මහේල ජයවර්ධන අතට උඩපන්දුවක් ලබා දෙමින්) යන ඉදිරිපෙළ පිතිකරුවන්ය. මෙම තරගයේ ශ්‍රී ලංකා ඇරයුමින් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායමේ සියළු ක්‍රීඩකයින් ලකුණු 124 කට දැවී ගියේය. එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ චමින්ද වාස් ලකුණු 26 කට කඩුළු 6 ක් දවා ගත්තේය. එහිදී පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත්විය.
මෙය චමින්ද වාස්ගේ එක්දින දිවියේ දෙවැනි කඩුළු ත්‍රිත්වයේ අවස්ථාව වන අතර මිට පෙර 2001 වර්ෂයේදීද ඔහු සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කඩුළු ත්‍රිත්වයක් දවාගැනීමට සමත්විය. එහිදී ලකුණු 19 කට කඩුළු 8 ක් දවා ගත් වාස්ගේ එම වාර්තාව වසර 22 කට පසුවද නොකැඩී පවතින්නේ එක්දින ඉනිමක පන්දු යවන්නෙකුගේ පන්දු යැවීම ලෙසිනි. වාස් හැරුණු කොට එක්දින ඉනිමක කඩුළු 8 ක් දවා ගැනීමට ලොව කිසිදු පන්දු යවන්නෙකු මේ දක්වා සමත්වි නොමැත.