අන්තර්ජාතික විස්සයි විස්ස තරගයකදී කණ්ඩායමක් දවාගත් අවම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අළුත් කිරිමට ස්පාඤ්ඤය සමත්විය.
ඒ අයිල් ඔෆ් මෑන් කණ්ඩායම ලකුණු 10 කට දවා ගනිමිනි. ඊයේ (26දා) පැවති මෙම තරගයේදී පන්දුවාර 8.4 ක් තුළදී අයිල් ඔෆ් මෑන් ක්‍රීඩකයින් සියල්ලෝම දැවී ගියහ.
පන්දු යැවීමේදී මොහොමඩ් කම්රාන් හා අතීෆ් මොහොමඩ් ස්පාඤ්ඤය වෙනුවෙන් කඩුළු 4 බැගින් බිඳ හෙලූහ.
මෙහිදි අයිල් ඔෆ් මෑන් ක්‍රීඩකයින් 7 දෙනෙකුටම ලකුණු වාර්තාකිරීමට ඉඩක් නොලැබිණි.
මෙහිදී පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්පාඤ්ඤය, කිසිදු කඩුල්ලක් නොදැවී පන්දු දෙකක් පමණක් වැය කරමින් හයේ පහර දෙකක් වාර්තා කරමින් තරගයේ ජය හිමිකර ගත්හ.
ඒ අනුව මෙය විස්සයි විස්ස තරගයකදී කණ්ඩායමක් අවම පන්දු සංඛ්‍යාවකින් ජයග්‍රහණය හඹාගිය තරගය ලෙසින්ද ඉතිහාස ගතවිය. මීට පෙර මෙම වාර්තාව පසුගිය නොවැම්බර් මාසයේදී හිමිකරගෙන තිබුනේ කෙන්යාව විසිනි. ඔවුන් මාලි කණ්ඩායම කඩුළු 10 කින් පරාජයට පත් කරමින් ජයග්‍රහණය හිමිකර ගත්තේ පන්දු 105 ක් ඉතිරිව තිබියදීය.
අයිල් ඔෆ් මෑන් කණ්ඩායමේ ස්පාඤ්ඤ තරග සංචාරයේ අවසන් තරගය ලෙස මෙය පැවැත්විණි.
මෙම පරාජයත් සමගින් අයිල් ඔෆ් මෑන් කණ්ඩායම තරගාවලිය තරග 5-0 ක් ලෙස පරාජය විය.
විස්සයි විස්ස ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුනු සංඛ්‍යාවේ වාර්තාව මීට පෙර රැඳී තිබුනේ බිග්බෑෂ් ලීග් තරගාවලියේ සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම වෙතයි. ඔවුන් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් හමුවේ ලකුණු 15 කට දැවී යාම එම වාර්තාවේ රැඳී තිබිණ.
එමෙන්ම අන්තර්ජාතික විස්සයි විස්ස ක්‍රිකට් තරගයකදී කණ්ඩායමක් දැවී ගිය අවම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ලියැවී තිබෙන්නේ තුර්කියේ නමටයි. ඔවුන් 2019 වර්ෂයේ චෙක් ජනරජ කණ්ඩායම හමුවේ ලකුනු 21 කට දැවී ගියහ.