ලෝක කුසලානය පාපන්දු තරගාවලියේ තීරණාත්මක අවසන් පූර්ව වටයේ තරග ආරම්භ කරමින් ආර්ජන්ටිනාව හා ක්‍රොයේෂියාව අද (13දා) තරග බිමට පිවිසීමට නියමිතය.
මෙහිදී බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වන ක්‍රීඩකයින් දෙපළක් වනුයේ ආර්ජන්ටිනා නායක ලයනල් මෙසී හා ක්‍රොයේෂියා නායක ලුකා මොඩ්රිජ් දෙදෙනායි. ඒ ඔවුන් දෙදෙනා බොහෝවිට සහභාගි වන අවසන් පාපන්දු ලෝක කුසලානය මෙය වනු ඇති නිසාය. මේ වන විට සිය ජීවිතයේ තෙවැනි දශකයේ අගභාගයේ සිටින මොවුන් දෙදෙනා අන්තර්ජාතික තරගයකදී එකට මුණ ගැසෙන අවසන් අවස්ථාව බොහෝ විට මෙය වනු ඇත.
එමෙන්ම ලෝක කුසලානයක් දිනා ගැනීමට ඔවුන්ට ලැබෙන තීරණාත්මක අවසන් අවස්ථාවද මෙය වනු ඇත.
අතීත කතාව
2006 වර්ෂයේ මාර්තු පළමුවැනිදා ආර්ජන්ටිනාව හා ක්‍රොයේෂියාව අතර ස්විට්සර්ලන්තයේ බාසෙල් හිදී පැවති සුහද අන්තර්ජාතික තරගය ක්‍රීඩකයින් දෙදෙනෙකුට ඉතාම වැදගත් විය. ක්‍රොයේෂියාව වෙනුවෙන් ලුකා මොඩ්රිච් නැමති 19 හැවිරිදි යෞවනයා සිය පළමු අන්තර්ජාතික වරම් දිනා ගනිද්දී ආර්ජන්ටිනාවට මෙම තරගය ගෝල 3-2 ක් ලෙස තියුණු ජයක් හිමිකර ගත්තේය. මෙම තරගයේදී යොවුන් ක්‍රීඩකයෙකු ලෙස ආර්ජන්ටිනාව නියෝජනය කළ ලයනල් මෙසී නැමති ඉදිරිපෙළ ක්‍රීඩකයාට මෙම තරගය සුවිශේෂී වූයේ ඔහු මෙහිදී සිය පළමු අන්තර්ජාතික ගෝලය වාර්තා කිරීම නිසාය. ඊට දශකයකත් වඩා අඩු කාළයකදී මොවුන් දෙදෙනාම සිය රටවල් පාපන්දුවේ හිනිපෙත්තටම ගෙනඒමට සමත්වනු ඇතැයි බොහෝ දෙනෙකු එදින නොසිතන්නට ඇත.
එදා මෙදා තුර පාපන්දු පිටියේ බිහිවූ විශිෂ්ඨ ක්‍රීඩකයින් දෙපළක් මෙන්ම මේ වන විට පාපන්දු පිටියේ සිටින විශිෂ්ඨම ක්‍රීඩකයින් දෙපළක් වන මොවුන් දෙදෙනා දක්වා ඇති දක්ෂතා මෙන්ම අත්දැකීම් අතින්ද එකිනෙකා පරායා යා නොහැකි දක්ෂතාවලින් යුක්ත වේ. කණ්ඩායම් දෙකේම ඔවුන් දෙදෙනාගේ ක්‍රීඩා ඇඳුමේ අංකය වන්නේද අංක 10 වේ.
ලෝක කුසලානයේ දැක්වූ සම දක්ෂතා
මොවුන් දෙදෙනාම සිය රටවල් ලෝක කුසලානය අබියසට ගෙන ඒමට සමත් වුවද ලෝක කුසලානයක පහස විඳීමට ඔවුන් දෙදෙනාම අසමත්වීම කැපී පෙණින.
2014 වර්ෂයේ බ්‍රසීලයේ පැවති ලෝක කුසලාන තරගාවලියේ අවසන්මහා තරගයේදී ආර්ජන්ටිනාව, ජර්මනිය සමගින් අවසන්මහා තරගයට පිවිසීමට සමත්විය. නමුත් තරගයේ අතිරේක කාළයේදී වාර්තා කළ ගෝලයත් සමගින් ආර්ජන්ටිනාවට ලෝක කුසලාන බලාපොරොත්තු සුන්වී ගිය අතර අනුශූරතාවයෙන් පමණක් සෑහීමට පත්වීමට සිදුවිය.
මෙය ඒ ආකාරයෙන්ම විඳීමට ඊට වසර 4 කට පසු එංගලන්තයේදී පැවති ලෝක කුසලානයේදීක්රොයේෂියාවට සිදුවිය. ඒ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ ඔවුන්, ප්‍රංශය හමුවේ ගෝල 4-2 ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙනි.
ලෝක කුසලානයෙන් පිටතදී දැක්වූ දක්ෂතා
මොඩ්රිච් හා මෙසී යනු වත්මන් ක්‍රොයේෂියා හා ආර්ජන්ටිනා කණ්ඩායම්වල වැඩිම තරග ප්‍රමාණයකට සහභාගි වූ ක්‍රීඩකයින් දෙපළයි.
ඒ අතරින් මෙසී තරග 170 කට සහභාගි වී ඇති අතර ඔහු වර්තමානයේ කණ්ඩායමේ වැඩිම ගෝල ලාභියා (95) ද වේ.
එමෙන්ම මොඩ්රිච් යනු ක්‍රොයේෂියා කණ්ඩායමේ වත්මන් වැඩිම තරග ප්‍රමාණයකට සහභාගි වූ ක්‍රීඩකයා වන අතර ඔහු අන්තර්ජාතික තරග 160 කට සහභාගි වී ඇත.
මෙම රටවල් දෙකෙන්ම අතිදක්ෂ පාපන්දු ක්‍රීඩකයින් රාශියක් පාපන්දු ක්‍රීඩාවට දායාද කර ඇතත්, මොවුන් දෙදෙනාගේ අඩුව පිරවීමට හැකි ක්‍රීඩකයෙකු බොහෝ කලකට සොයාගත හැකිවේදැයි ප්‍රශ්නාර්ථය මතු වන්නේ ඔවුන් සිය රටේ පාපන්දු ක්‍රීඩාවට සිදුකළ මෙහෙය අතිමහත්වීම හේතුවෙනි.
ඩියාගෝ මැරඩෝනාගේන් පසුව ආර්ජන්ටිනා පාපන්දු ඉතිහාසයේ එතෙක් බිහිවූ අති දක්ෂම ඉදිරිපෙළ ක්‍රීඩකයා ලෙසින් හැඳින්විය හැකිවන්නේ මෙසීය. ඔහු වසරේ ආර්ජන්ටිනා පාපන්දු තරුවට හිමිසම්මානය වසර 14 ක් දිනාගැනීමම ඔහුගේ දක්ෂතාව පිළිබඳ තක්සේරුවකි. එයින් සම්මානය 7 ක්ම ඔහු අඛණ්ඩව දිනා ගැනීටම සමත් වී ඇත.
ආර්ජන්ටිනාව ලෝක කුසලාන ද්විත්වයක් කරාම ගෙන ගිය පුරාවෘත්තයක් වන ඩියාගෝ මැරඩෝනාටද මෙම සම්මානය හිමිවී ඇත්තේ සිව්වවතාවක් පමණි.
ක්‍රොයේෂියානු ඉතිහාසයේ වසරේ ක්‍රීඩකයා සම්මානය වැඩිම වාර ගණනක් හිමිවූ ක්‍රීඩකයා වන්නේද ලුකා මොඩ්රිච්ය. ඔහු එය 10 වතාවකට හිමිකම් කියද්දී ඉන් 6 වරක්ම ඔහු අඛණ්ඩව දිනාගැනීමට සමත්ව ඇත.
ක්‍රීඩා සමාජ මට්ටම
මෙසී හා මොඩ්රිච් අන්තර්ජාතික පිටියේදී දැක්වූ දක්ෂතාවලට ඔවුන් පිටියෙන් පිටතදී අන්තර්සමාජ මට්ටමින් දැක්වූ දක්ෂතාද ඉවහල්වී ඇත. මොවුන් දෙදෙනාම ලොව වටිනාම හා ඉහළම පාපන්දු ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කර තිබීම හා එම ක්‍රීඩා සමාජ වල අත්‍යවශ්‍ය ක්‍රීඩකයින් බවට පත්වී ඇත. ඒ අතරින් ලයනල් මෙසී පුරා වසර 17 (2004-2021) ක් ස්පාඤ්ඤයේ බාසිලෝනා කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු ලෙසින් ක්‍රීඩා කර ඇති අතර ඔහු දැනට ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායමේ ක්‍රීඩා කරයි. එමෙන්ම ලුකා මොඩ්රිච් වසර 10 ක් (2012-2022) ස්පාඤ්ඤ රියල් මැඩ්රිඩ් පාපන්දු කණ්ඩායමේ මැදපෙළ ක්‍රීඩකයෙකු ලෙස ක්‍රියා කර ඇති අතර ඊට පෙර වසර 4 ක් (2008-2012) එංගලන්ත ටොටෙන්හැම් කණ්ඩායමේ ක්‍රීඩා කර ඇත.
සිය ක්‍රීඩා සමාජ දිවිය තුළදී මෙසී ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයාට හිමි බැලොන් ඩි ඕර් සම්මානයට 7 වතාවක් හිමිකම් කියා ඇත්තේ එය වැඩිම වාර ගණනක් දිනා ගැනීමේ ක්‍රීඩකයා බවට පත්වෙමිනි.
ලුකා මොඩ්රිච් 2018 වර්ෂයේදී මෙම සම්මානයට හිමිකම් කියා ඇත. ඉදිරිපෙළ ක්‍රීඩකයින් විසින් බොහෝ විට මෙම සම්මානය දිනා ගනිද්දී වසර 10 කින් පසු එය වෙනස් කිරිමට ලුකා මොඩ්රිච් සමත්වුයේ 2008 වර්ෂයේ පටන් එම සම්මානය එකිනෙකා සමගින් බෙදා ගත් පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හා ලයනල් මෙසී අධිකාරියද බිඳ දමමිනි. සිය ක්‍රීඩා සමාජ දිවියේදී මෙසී යුරෝපයේ දක්ෂතම ක්‍රීඩකයා (ස්පාඤ්ඤ බාසිලෝනා කණ්ඩායම නියෝජනය කරමින්) සම්මානය තෙවරක් (2015, 2011,2009) දිනා ගෙන ඇති අතර මොඩ්රිච් එය 2018 වර්ෂයේදී එක්වරක් දිනා ගෙන ඇත.
මෙවර තරගාවලියේදී දැක්වූ දක්ෂතා
මෙවර ලෝක කුසලාන තරගාවලියේදීද සිය කණ්ඩායම් අවසන්පූර්ව වටයන් කරා රැගෙන පැමිණිමේදී මොවුන් දෙදෙනාම එක හා සමාන කර්තව්‍යයන් සිදුකර ඇති බව පැහැදිලිය. ඒ අතරින් තරගාවලියේ වැඩිම ගෝල ලාබීන් අතර සම දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටින ලයනල් මෙසී මේ වන විට ගෝල 4 ක් ලබාගෙන සිටියි. ඔහුට තරගාවලියේ වැඩිම ගෝල ලාභියා වන ප්‍රංශයේ කයිලියන් එම්බපේ සම කිරීමට මෙම තරගයේදී ලබාගත යුතුවන්නේ තවත් එක් ගෝලයක් පමණි.
අර්ධ අවසන් පූර්ව වටයේදීද මෙසී සාර්ථකව දඩුවම් පහරක් කර ගත් ගෝලය නොවන්නට අවසන් පූර්ව වටයට පැමිණීම සිහිනයක් වන්නට ඉඩ තිබිණ.
මේ අතර ගෝල වාර්තාකිරීමෙන් නොවූවත් කණ්ඩායම මෙහෙයවීමෙන් හා ප්‍රතිවාදී ඉදිරිපෙළ ක්‍රීඩකයින් පාලනය කිරීමෙන් ලුකා මොඩ්රිච්. ක්‍රොයේෂියාවට දැවැන්ත මෙහෙයක් ඉටු කලේය.
අර්ධ අවසන් පූර්ව වටයේදීත් ඔහු බ්‍රසීලයට එරෙහිව අවසන් මොහොතේදී සාර්ථකව දඩුවම් පහරක් එල්ල කිරීම, ඔවුන් අවසන් පූර්ව තරගයට පැමිණීමට මගපෑදුවේය.
මොඩ්රිච්
මෙසී