එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට බලාපොරොත්තු වූවත්, ක්‍රීඩකයන් අබාධ වීමත් සමග එම සැලසුම් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පැවසීය. එමෙන්ම ලොව පුරා ව්‍යසනයක් බවට පත්ව තිබෙන කොරෝනා වෛරසයෙන් (කෝවිඩ්-19) ආරක්ෂාවීම සඳහාද විශේෂ අවධානයක් යොමුකර තිබෙන බව ඔහු පැවසීය.
ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ඊයේ (11දා) පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පවසා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිමුත්,
අපි මේ තරගාවලියට හොඳ මානසික මට්ටමකින් ඉන්නවා. සිම්බාබ්වේ තරගාවලියේදීත් අපි හොඳින් ක්‍රීඩා කළා. නමුත් හොඳ තරගාවලියක්, අයි.සී.සී. ටෙස්ට් ශූරතාව යටතේ ක්‍රීඩා කරන්නේ. එංගලන්තයට ලංකාවේ තණතිලි ගැන හොඳ අවබෝධයක් තිබෙනවා. ඔවුන් සමග අවසන්වරට පැවති තරගාවලියත් අපි පරාජය වුණා. එම අත්දැකීම් එක්ක හොඳ සැලසුමකින් තරගාවලියට එක්වෙනවා.
කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් කරන්න බලාපොරොත්තු වුණා. නමුත් ක්‍රීඩකයන් ආබාධයන්ට ලක්වුණා. ඒ නිසා කණ්ඩායමේ ලොකු වෙනසක් නැහැ. වනිඳු කියන්නේ අපට ලැබුණ හොඳ තරග දිනවන්නෙක්. අපි බලාපොරොත්තු වුණා මේ තරගාවලියේදී ඔහුට ස්ථානයක් ලබාදෙන්න. අවාසනාවට ඔහු ආබාධයකට ලක්වුණා. වනිඳුට සති තුනක් පමණ විවේක ගැනීමට සිදුවෙනවා. මේ තරගාවලියෙන් පස්සේ කෙටි විවේකයක් තිබෙනවා. ඒ කාලයේදී ඔහු නැවතත් යථා තත්ත්වයට පත්වේවි.
ලොව පුරා ව්‍යාප්තව පවතින කොරෝනා (කෝවිඩ්-19) වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා කණ්ඩායමක් ලෙස කෙබදු අවධානයක් යොමුකර තිබෙනවා දැයි මෙහිදී දිමුත්ගෙන් විමසා සිටියේය.
ලංකාවේ දැනට ‘මේ වෛරසයේ ලොකු බලපෑමක් වෙලා නැහැ. නමුත් ඉන් මිදීමට අවශ්‍ය සෑම ක්‍රියාමාර්ග අපි අරන් තිබෙනවා. අපට වෛද්‍ය උපදෙස් ලබාදී තිබෙනවා කොහොමද කටයුතු කරන්නේ කියලා.
එංගලන්ත කණ්ඩායමටද මේ සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වලා තිබෙනවා. විශේෂයෙන් ඔවුන්ගේ ආචාරධර්ම පවා වෙනස් කර තිබෙනවා. එම නිසා අපි ක්‍රිකට් වගේම ඒ දේවල් ගැනත් සැලකිලිමත්ව ඉන්නේ’ යැයි පැවසීය.