ලංකා ප්රිමියර් ලිග තරගාවලියේ මෙවර කිරුළ තමන් සතු කර ගැනීමට වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුතු බී. ලව් කණ්ඩායම සමත්විය. තරගාවලියේ අවසන් මහ තරගය තෙක් බී ලව් කැන්ඩි කණ්ඩායම රැගෙන ඒම වෙනුවෙන් එහි නායක වනිඳු හසරංග සුවිශේෂී දායකත්වයක් පිත්තෙන් හා පන්දුවෙන් දැක්වීය.
වනිඳු තරගාවලියේ වැඩිම ලකුණු ප්රමාණයක් හා වැඩිම කඩුලු ප්රමාණයක් දවා ගත් ක්රීඩකයාද වූයේ ලකුණු 271ක් හා කඩුලු 19ක් දවා ගනිමිනි.
කෙසේ වෙතත් ආබාධයක් හේතුවෙන් ඔහුට අවසන් මහ තරගයට ක්රීඩා කිරීමට නොහැකි විය. මේ අනුව අවසන් මහ තරගයේදී බී ලව් කැන්ඩි කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඇන්ජලෝ මැතිව්ස්ට හිමිවිය.
එහිදී වනිඳු හසරංග ඇන්ජලෝ මැතිව්ස්ගෙන් අවසන් මහ තරගයේදී පන්දුවාර කිහිපයක් යොමුකරන ලෙස ඉල්ලා සිට ඇති අතර ඒ අනුව මැතිව්ස් අවසන් මහ තරගයේදී පන්දුවාර දෙකක් යොමු කිරිමට කටයුතු කෙරිණි. ඔහුට කඩුලු දවා ගැනීමට නොහැකි වුවත් තම පන්දුවාර දෙකේදි ප්රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 11ක් පමණි.
"අපිව අවසන් මහ තරගය දක්වා තනි අතකින් ගෙන ආවේ වනිඳු. නමුත් ඔහුට අවසන් මහ තරගයට ක්රීඩා කිරිමට නොහැකි වීම කනගාටුයි. ඉතින් අපිට ඔහු වෙනුවෙන් මේ තරගය හොඳින් ක්රීඩා කරන්න ඕන වුණා. පන්දුවාර කිහිපයක් යොමු කරන ලෙස ඔහු මගෙන් ඇහුවා. එයට දායකත්වය දෙන්න ලැබීම ගැන මට සතුටුයි. ඒ වගේම සෑම අංශයකින්ම දායකත්වය දෙන්න ලැබීම ගැන මට සතුටුයි."