ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් කඩුලු 05ක ජයක් හිමිකර ගැනීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම සමත් විය. මෙම තරගය පාකිස්තානයේ කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ ඊයේ (02දා) පැවැත්විණි.
ඒ අනුව තරගාවලිය සමව අවසන් කර ගැනීම සඳහා ඉතිරිව තිබූ එකම අවස්ථාවත් අහිමිකර ගත් ශ්‍රී ලංකාවට තරග 2-0ක තරගාවලි පරාජයක් වැළඳ ගැනීමට මෙහිදි සිදුවිය. දෙරට අතර අවසන් වරට පැවති එක්දින තරග දහයෙන්, ශ්‍රී ලංකාව පරාජය වූ 08 වැනි තරගයද මෙයයි. ඉන් තරග 02ක් වර්ෂාව හේතුවෙන් අතහැර දමා ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 298ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන පිතිකරුවෝ තරගයේ 48 (48.2) වැනි පන්දු වාරයේදී එම ඉලක්කය පසුකර යාමට සමත් විය. වසර තුනකට පසු පාකිස්තානය හඹා ගොස් ජය ලැබූ ඉහළම එක්දින තරග ජයග්රහණයද මෙයයි.
එමෙන්ම මෙය ශ්‍රී ලංකාවට එරෙහිව පාකිස්තානය ලැබූ 92 වැනි එක්දින තරග ජයග්‍රහණය වන අතර, එය ජාත්‍යන්තර එක්දින පිටියේ කණ්ඩායමක් ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහිව වාර්තාකළ වැඩිම තරග ජයග්‍රහණ සංඛ්‍යාව වෙයි. 1975 වසරේ සිට දෙරට අතර මේ දක්වා එක්දින තරග 155ක් පවත්වා ඇති අතර, ඉන් ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 58ක් පමණි.
මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියුවේ ඔස්ට්‍රේලියාව වන අතර, ඔවුන් නවසීලන්තයට එරෙහිව තරග 91ක් ජයගෙන සිටියි. 1974 වසරේ සිට මේ දක්වා නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව අතර තරග 137ක් පවත්වා ඉන් නවසීලන්තය ජයගෙන ඇත්තේ තරග 39ක් පමණි.
පාකිස්තානයට ජයග්‍රාහී ආරම්භයක් ලබා දුන් ෆකර් සමාන් (76) හා අබිඩ් අලි (74) අර්ධ ශතක රැස් කරමින් පිත්තෙන් දක්ෂතා දැක්වූ අතර, ඔවුන් දෙදෙනා පන්දුවාර 19 (19.3)ක් වන විට පළමු කඩුල්ලට ලකුණු 123ක වටිනා සබඳතාවක් පැවැත්වීමට වගබලා ගත්හ.
එමෙන්ම ජයග්‍රාහී සීමාවට පැමිණෙන තෙක් සිය කඩුල්ල ආරක්ෂා කර ගනිමින් කණ්ඩායමෙන් ජයග්‍රහණය ගිලිහීමට ඉඩ නොදුන් හාරිස් සොහෙල් ලකුණු 56ක් රැස් කළේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 තුළදී ලකුණු 297/9ක් රැස් කිරීමට සමත් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ලකුණු 133ක් රැස් කිරීමට සමත් විය. මෙය ඔහුගේ 02 වැනි එක්දින ශතකය වන අතර, මෙම ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පිතිකරුවෙකු රැස්කළ 05 එක්දින වැනි ශතකයද විය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් තුනක් සිදු කරමින් මෙම තරගයට අවතීර්ණ විය. ඒ අනුව පළමු තරගයට ක්‍රීඩාකළ සදීර සමරවික්‍රම, ඕෂධ ප්‍රනාන්දු හා ඉසුරු උදාන මෙම තරගයෙන් ඉවත් කර තිබුණි. ඒ වෙනුවට ඇන්ජලෝ පෙරේරා, ලක්ෂාන් සඳකැන් හා මිනෝද් භානුක කැඳවා තිබිණ. මිනෝද්ගේ මංගල එක්දින තරගයද මෙය වූ අතර ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගත් 192 වැනි ක්‍රීඩකයාද විය.
තරගයේ 30 වැනි පන්දු වාරයේදී ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 151/3ක් ලෙස සටහන්ව තිබියදී පිටියට පිවිසි මිනෝද්, පළමු තරගය කියා වෙනසක් නොමැතිව පළමුපෙළ තරග බිමේ සිය හුරුපුරුදු ඉනිම ක්‍රීඩා කළේය. ඔහු සිව්වැනි කඩුල්ල ලෙස පිටියට පිවිස ලකුණු 36ක් රැස් කළ අතර, ධනුෂ්ක ගුණතිලක සමගින් එක්ව ලකුණු 74ක සබඳතාවක්ද පවත්වමින් ඉනිම මුළු ලකුණු 225ක් දක්වා රැගෙන ඒමටද කටයුතු කළේය. කෙසේ නමුත් අවාසනාවන්ත ලෙස මිනෝද් දුවද්දී දැවීයාමකට හසු විය.
ඉනිමේ අවසන් පන්දුවාර කිහිපයේදී ලකුණු ලබාගැනීමේ වේගය අඩාල වූ අතර, තරගයේ 44 වැනි පන්දු වාරය වන විට කඩුලු 06ක් දැවී ඉනිමට එක්ව තිබුණේ ලකුණු 243ක් පමණි. කෙසේ නමුත් ඉනිම ගොඩනැංවීමේ වගකීම භාරගත් දසුන් ශානක හා වනිඳු හසරංග, මුළු ලකුණු 284ක් දක්වා ඉදිරියට රැගෙන ආ අතර, 07 වැනි කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා ලකුණු 41ක සබඳතාවක්ද පැවැත්වූහ.
එහිදි වනිඳු දැවී ගියද, දසුන් ශානක ඉනිමේ අවසානය වර්ණවත් කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 300 සීමාට රැගෙන ආවේය. ඔහු ලකුණු 43ක් ඉනිමට එක් කළ අතර, ඊට හතරේ පහර 05ක් හා අලංකාර හයේ පහර 02ක්ද ඇතුළත් කිරීමටද අමතක නොකළේය.
තරගයේ වීරයා ලෙස අබිඩ් අලි සම්මාන දිනාගත් අතර, තරගාවලියේ වීරයා සම්මානය බාබර් අසාම් දිනාගත්තේය.