මෙවර පාපන්දු ලෝක කුසලානයේ මුලින්ම ඉවත්වූ කණ්ඩායම බවට පත්වීමට සත්කාරක කටාරයට සිදුවිය. ඒ් ඊයේ (26දා) ඔවුන් සෙනගාලය හමුවේ ලැබූ ගෝල 3-1 ක පරාජයත් සමගිනි.
අල් තුමාමා ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ පළමු අර්ධයේ 41 වැනි මිනිත්තුවේදී සෙනගාලයේ බවුලායා ඩියා ගෝලයක් වාර්තා කිරීමත් සමගින් ගෝල 1-0 ක් ලෙසින් පළමු අර්ධය අවසන් විය.
දෙවැනි අර්ධයේ 48 වැනි මිනිත්තුවේදී ෆමාරා දියේදියෝ ගෝලයක් වාර්තා කළ අතර 78 වැනි මින්තුවේදී කටාර් වෙනුවෙන් මොහොමඩ් මුන්ටාරි ගෝලයක් වාර්තා කිරීමත් සමගින් ඔවුන්ට යම් සහනයක් ලැබිණී. නමුත් 84 වැනි මිනිත්තුවේදී බම්බා ඩියෙන්ග් ගෝලයක් වාර්තා කිරිමත් සමගින් කටාර් ජයග්‍රහණ බලාපොරොත්තු ඉවත්වී ගියේය.
කෙසේ වෙතත් ඉන් අනතුරුව නෙදර්ලන්තය හා ඉක්වදෝරය අතර පැවති තරගය ජය පැරදුමින් තොරව නිමාවීමත් සමගින් නිළ වශයෙන්ම කටාරයට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූයේ ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයට පත්වීමත් සමගිනි.
කටාර් රාජ්‍යයට තරගාවලියේ නෙදර්ලන්තය සමගින් තවත් එක් තරගයක් ඉතිරිව ඇතත් එහි ජයග්‍රහණය ඔවුන්ට තරගාවලියේ ඉදීරියට යාමට ප්‍රමාණවත් නොවේ.
මේ අතර තරගාවලියේ නෙදර්ලන්තය හ ඉක්වදෝරය අතර තරගය ගෝල 1-1 ක් ලෙසින් ජයපැරදුමින් තොරව අවසන් විය. තරගයේ 6 වැනි මිනිත්තුවෙදී නෙදර්ලන්තය වෙනුවෙන් කොඩි ගක්පෝ ගෝලයක් වාර්තා කල අතර ඉක්වදෝරය වෙනුවෙන් 49 වැනි මිනිත්තුවේදී ඒනර් වලෙන්සියා ගෝලයක් වාර්තා කරමින් තරගය සමකලේය.