සංචාරක දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 02කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (12 වැනිදා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ඇරඹේ. ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව අංක 02 ස්ථානයේ රැඳී සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායමත් අංක 06 ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායමත් අතර පැවැත්වෙන මෙම තරගයේදී බැලූ බැල්මටම දකුණු අප්‍රිකානුවන්ගේ දක්ෂතා ඉස්මතු වන තරගයක් ලෙස ආරම්භයේදී පෙනෙන්නට තිබේ.
දෙරට අතර මේ දක්වා ටෙස්ට් ක්‍රිකට් තරගාවලි 10ක් පවත්වා ඇති අතර, ඉන් තරගාවලි 07කම ජය හිමිකරගන්නට දකුණු අප්‍රිකානුවන්ට හැකිවී තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වූයේ තරගාවලි දෙකකදී පමණක් ජය හිමිකර ගැනීමටය. 1993 සිට මේ දක්වා දෙරට අතර ටෙස්ට් තරග 25ක් පවත්වා ඇති අතර, ඉන් තරග 14ක ජය දකුණු අප්‍රිකාවට හිමි වූ අතර, තරග 05ක ජය ශ්‍රී ලංකාව සතුවිය.
දකුණු අප්‍රිකානුවන් අවසන් වරට ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වූයේ 2014 වසරේදීය. එම තරග සංචාරයේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවතියේද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදීය. එම තරගයෙන් ලකුණු 153ක විශිෂ්ට ජයක් හිමිකරගන්නට දකුණු අප්‍රිකානුවන්ට හැකිවිය. තවද එම තරගයට ක්‍රීඩා කළ ෆෆ් ඩුප්ලෙසිස්, හෂීම් අම්ලා, ඩීන් එල්ගා, කුයින්ටන් ඩි කොක්, ඩේල් ස්ටේන් සහ වර්නන් පිලෙන්ඩර් යන ප්‍රබල දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් වර්තමාන කණ්ඩායමේද සමාජිකයන් ලෙස කටයුතු කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල පීඩනයකි. 2014දී අවසන් වරට පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයේ වීරයා සම්මානය හිමි කරගත් ඩේල් ස්ටෙන් අා බාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්ව සිට නැවතත් මෙම තරගාවලියේදී දකුණු අප්‍රිකානුවන් සමග එක්ව සිටීම ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් හිතකර තත්ත්වයක් නම් නොවේ. තවද එම ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනාට අමතරව ටෙම්බා බවුමා, කාගිසෝ රාබාඩාද කණ්ඩායමට ඇතුළත් වූ පසු ඔවුන්ගේ ශක්තිය තව තවත් ඉහළ යනු වැළැක්විය නොහැකිය.
ගාල්ල තණතිල්ල දඟපන්දු යවන්නන්ට උචිත තණතිල්ලක් වුවද වේග පන්දුවෙන් ලොවම භීතියට පත් කරන දකුණු අප්‍රිකානුවන් වේග පන්දු යවන්නන් තිදෙනෙකු සමගින් අද තරගයට ක්‍රීඩා කරනු ඇතැයි විශ්වාස කළ හැක. කෙසේ වෙතත් දඟපන්දු යවන්නන් දෙදෙනෙකු සමගින් ක්‍රීඩා කරන්නේද නැද්ද යන්න මෙම සටහන තබන මොහොත වන විටත් නිශ්චිතව නොතිබූ බැවින් එක් දඟපන්දු යවන්නෙකු සමග ක්‍රීඩා කරන්නේ නම් එම අවස්ථාව කේෂව් මහරාජ්ට හිමිවීමට වැඩි අවස්ථාවක් පවතී. එසේ වුවහොත් දකුණතින් මද වේග පන්දු යවන, දකුණතින් පන්දුවට පහරදෙන මැදපෙළ පිතිකරුවෙකු වන තෙයුනිස් ඩි බෘයින් අවසන් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ 11 දෙනා අතරට කැඳවනු ඇත. එසේ නොවුණහොත් වමත් චයිනමන් පන්දු යවන්නෙකු වන තබ්‍රයිස් ශම්ෂි කණ්ඩායමට කැඳවනු ඇත.
මෙම සටහන තබන මොහොත වන විටත් දිනේෂ් චන්දිමාල් අද තරගයට ක්‍රීඩා කරන්නේ ද නැද්ද යන්න තීරණය වී නොතිබුණි. එහෙයින් චන්දිමාල් ක්‍රීඩා නොකරන්නේ නම් සුරංග ලක්මාල් කණ්ඩායම මෙහෙයවනු ඇත. කෙසේ වෙතත් අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම වේගපන්දු යවන්නන් තිදෙනෙකු සමගින් ක්‍රීඩා කරන්නේද නැතිනම් දඟපන්දු යවන්නන් දෙදෙනෙකු සමගින් ක්‍රීඩා කරන්නේද යන්න විසඳාගත යුතුව තිබේ. අප විශ්වාස කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ දුරට දඟපන්දු යවන්නන් දෙදෙනෙකු සමගින් ක්‍රීඩා කරනු ඇති බවයි. මන්ද ගාල්ලේ මෙතෙක් පැවැති තරග 30 අතරතුරදී දඟපන්දු යවන්නන් විසින් කඩුලු 470කට ආසන්න සංඛ්‍යාවක් දවාගෙන ඇති හෙයිනි. ඒ අනුව රංගන සහ ඩිල්රුවන් යන දඟපන්දු සුසංයෝගය සමගින් ලක්මාල් සහ ලහිරු වේග පන්දු යවන්නන් ලෙස අද තරගයට එක්වනු ඇතැයි විශ්වාසය කළ හැකිය.
එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමට ගැටලුවක්ව ඇත්තේ පිතිකරණ සංයුතිය සකසා ගැනීමය. අාබාධයෙන් පසුව දිමුත් කරුණාරත්න නැවතත් කණ්ඩායම සමගින් එක්ව සිටින අතර, ඔහු කණ්ඩායමෙන් ඉවත්වන අවස්ථාව වන විට ලකුණු අතර සිටි පිතිකරුවෙකි. එමෙන්ම පෞද්ගලික හේතුවක් නිසා බ.ඉ.කොදෙව් ටෙස්ට් තරගාවලිය අතරතුර දිවයිනට පැමිණි ඇන්ජලෝ මැතිව්ස්ද නැවතත් කණ්ඩායම සමගින් එක්ව සිටී. ඔහු ද.අප්‍රිකානුවන් සමග පැවැති දෙදින පුහුණු තරගයේදී ලකුණු අතරට පැමිණි පිතිකරුවාය. තවද කුසල් ජනිත් පෙරේරාද අද තරගයට සූදානමින් සිටින බවට වාර්තාවේ. ඒ අනුව බ.ඉ.කොදව් කණ්ඩායම සමග පැවැති අවසන් තරගයේදී ලකුණු අතරට පිවිසි ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට කණ්ඩායමේ ස්ථානය අහිමිවීමට වැඩි අවස්ථාවක් පවතී. ඒ අතරින් ධනුෂ්ක ගුණතිලක ඉදිරියෙන් සිටී.
තරගය අද (11දා) පෙ.ව. 10.00ට ආරම්භ වන අතර, රූපවාහිනියේ චැනල් අයි නාලිකාව මගින් තරගය සජීවීව විකාශය කෙරේ.
දිනේෂ් මන්ත්රිවිතාන