විරාත් කෝලි හා රෝහිත් ෂර්මාගේ පිතිහරඹය ඉදිරියේ අසරණ වූ ඔස්ට්‍රේලියාව පරදා තෙවැනි එක්දින තරගයෙන් කඩුලු හතක පහසු ජයක් හිමිකර ගැනීමට ඉන්දියාව සමත් විය. ඒ සමගින් තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට ඉන්දියාවට හැකිවිය. ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ තෙවැනි එක්දින තරගය ලෙසින් මෙම තරගය බැංගලෝර්හි ඊයේ (19දා) පැවැත්විණි.
තරගයේ ලකුණු 287 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දියාව පන්දුවාර 47.3 කදී කඩුලු තුනක් පමණක් දැවී තිබියදී එම ඉලක්කය පසු කර යාමට සමත් විය. ඉන්දියානු ඉනිම වෙනුවෙන් රෝහිත් ෂර්මා ලකුණු 119ක් හා විරාත් කෝලි ලකුණු 89ක් රැස් කළහ.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඔස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව ඔස්ට්‍රේලියාව සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු නවයක් දැවී ලකුණු 286ක් රැස් කළහ. ඔස්ට්‍රේලියානු ඉනිමේ නැංගුරම බවට නැවතත් පත්වූ ස්ටීව් ස්මිත් සිය නවවැනි එක්දින ශතකය රැස්කරමින් ලකුණු 131 ක් රැස් කළේය. ඊට අමතරව සිය මංගල එක්දින අර්ධ ශතකය රැස් කළ මානස් ලැබුෂේන් ලකුණු 54ක් රැස් කළේය. පන්දු යැවීමෙන් මොහොමඩ් ෂාමි කඩුලු හතරක් දවාලීය.
තරගයේ වීරයා සම්මානය පිත්තෙන් දස්කම් දැක්වූ රෝහිත් ෂර්මාට හිමිවූ අතර, තරගාවලියේ වීරයා සම්මානය හිමිවූයේ තරගාවලිය පුරාම ලකුණු අතර සිටි විරාත් කෝලිටයි.
තරගාවලියේ පළමු තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 10ක ජයක් ලැබූ අතර දෙවැනි තරගයෙන් ලකුණු 36ක ජයක් හිමිකර ගැනීමට ඉන්දියාව සමත් විය.
ඔස්ට්‍රේලියාව 286/9 (පන්දුවාර 50)
ස්ටීවන් ස්මිත් 131 (132,4x14,6x1), මානස් ලබුෂේන් 54 (64,4x5), ඇලෙක්ස් කැරේ 35 (36,4x6), මොහොමඩ් ෂාමි 4/63 (පන්දුවාර 10), රවීන්ද්‍ර ජඩේජා 2/44 (පන්දුවාර 10)
ඉන්දියාව 289/3 (පන්දුවාර 47.3)
රෝහිත් ෂර්මා 119 (128,4x8,6x6), විරාත් කෝලි 89 (91,4x8), ෂ්‍රෙයාස් අයියර් 44* (35,4x6,6x1) ඈෂ්ටන් ඇගර් 1/38 (පන්දුවාර 10), ඇඩම් සම්පා 1/44 (පන්දුවාර 10)