2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ 13 වැනි දිනය අදයි. අද (04දා) පැවති කාන්තා මී. 400 කඩුලු පැනීම අවසන් තරගයෙන් නව ලෝක වාර්තාවක් සමගින් රන් පදක්කම දිනාගැනීමට ඇමරිකාවේ 21 හැවිරිදි සිඩ්නි මැක්ලෝග්ලින් සමත් වූවාය. මෙහිදී මැක්ලෝග්ලින් තත්. 51.46ක දක්ෂතාවක් දක්වමින් ලෝක වාර්තාවට ලඟා වූවාය.
කෙසේ නමුත් මෙහි පෙර වාර්තාවට හිමිකම් කියන්නේද ඇයම වෙයි. පසුගිය ජූනි මාසයේදී තත්. 51.90ක දක්ෂතාවක් දක්වමින් ඇය මෙම වාර්තාව පිහිටු වූවාය. මේ සමඟ ඇයට ලෝක වාර්තාව සමගින් ඔලිම්පික් වාර්තාවද තමත් සතුකර ගැනීමට අවස්ථාව උදා වූවාය. මෙහිදී බිඳවැටුණේ 2008 බීජිං ඔලිම්පික් උළෙලේදී ජැමෙයිකාවේ මෙලයින් වෝකර් විසින් තත්. 52.64කින් පිහිටුවා තිබූ ඔලිම්පික් වාර්තාවයි.
මෙම ඉසව්වේ රිදී පදක්කමද ඇමරිකාවට හිමි වූ අතර, එය 31 හැවිරිදි දලිලා මුහම්මද් විසින් දිනාගත්තේය. ඇය තත්. 51.58ක දක්ෂතාවක් දැක් වූවාය. මෙය දලිලාගෙ පෞද්ගලික හොඳම කාලය වන අතර, එයද පෙර ලෝක වාර්තාව අභිබවා යාමක් වෙයි
මීට අමතරව ලෝකඩ පදක්කම නෙදර්ලන්තයේ 21 වැවිරිදි ෆෙම්කේ බොල් විසින් දිනාගත් අතර, ඇය තත්. 52.03ක දක්ෂතාවක් දැක්වූවාය. එයද මෙම ඉසව්වේ යුරෝපීය වාර්තාවක් විය.
කාස්ටන් තමාගේම ලෝක වාර්තාව අලුත් කරයි
මීටර් 400 පිරිමි කඩුලු මතින් දිවීම ඉසව්වේ ලෝක වාර්තාව අලුත් කිරීමට නෝර්වේ ක්‍රීඩක කාස්ටන් වෝහොම් සමත් විය. මෙම තරග ඉසව්වේ ඊයේ (01දා) පැවති අවසන් තරගයේදී ඔහු මෙම දක්ෂතාව දැක්වීය. මෙහිදී කාස්ටන් තත්. 45.94කින් සිය ඉසව්ව අවසන් කර මෙම වාර්තාව පිහිටු වීය.
කාස්ටන්ගේ වාර්තාවේ සුවිශේෂත්වය වන්නේ එහි පෙර ලෝක වාර්තාවට හිමිකම් කියන්නේද ඔහුම වීමයි. කාස්ටන් මෙම වසරේදීම එම වාර්තාව (තත්. 46.70) පිහිටුවා ඇත.
මෙහි ඇති අනෙක් සුවිශේෂත්වය රිදී පදක්කම දිනාගත් ඇමරිකානු ක්‍රීඩක රායි බෙන්ජමින්ද පෙර පැවති ලෝක වාර්තාව අභිබවා තත්. 46.17ක දක්ෂතාවක් දැක්වීමයි.
ඉන්දියාවේ එක් බලාපොරොත්තුවක් ඉවතට
හොකී පිරිමි අවසන් පූර්ව තරග ඊයේ (03දා) පැවති අතර, එහි එක් තරගයකින් ඉන්දියාවට එරෙහිව ගෝල 5-2ක විශිෂ්ට ජයක් ලබා අවසන් තරගයට සුදුසුකම් ලැබීමට බෙල්ජියම සමත් විය. වත්මන් ලෝක හොකී ශ්‍රේණිගත කිරීම්හි බෙල්ජියම ලොව අංක දෙකේ කණ්ඩායම වන අතර, ඔවුන් වත්මන් ලෝක ශූරයන්ද (2018දී) වෙයි. ඉන්දියාව ලෝක ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයේ රැඳී සිටියි.
ඉන්දියාවට තවත් එක් හොකී බලාපොරොත්තුවක් ඉතිරිව ඇත. එරට කාන්තා හොකී කණ්ඩායම ආර්ජන්ටිනාවට එරෙහිව අද (04දා) තරගවැඳීමට නියමිතව ඇත. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 5.45ට ආරම්භ වීමට නියමිතව ඇත. ඔලිම්පික් උළෙලක ඉන්දීය කාන්තා හොකී කණ්ඩායමක් අවසන් පූර්ව වටයක ක්‍රීඩාකරන පළමු අවස්ථාව මෙය වෙයි.
සිමෝනාට ලෝකඩ පදක්කමක්
ඇමරිකානු ජිම්නාස්ටික් ක්‍රීඩිකා සිමෝන් බයිල්ස්ට කාන්තා ජිම්නාස්ටික් සමබර දණ්ඩ (balance beam) ඉසව්වේ ලෝකඩ පදක්කමෙන් සෑහීමට ඊයේ (03දා) සිදු වූවාය. ඇය 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී රන් පදක්කම් 04ක් දිනාගැනීමට සමත් වූ අතර, ඒ වනවිට ඇය 19 වැනි වියේ පසු වූවාය.
කෙසේ නමුත් මෙවර කැපීපෙන දක්ෂතා දැක්වීමට ඇයට නොහැකි වූ අතර, දිනාගැනීමට හැකිවූයේ රිදී හා ලෝකඩ පදක්කමක් පමණි. සිමෝනා මානසික ආතතිය හේතුවෙන් ජිම්නාස්ටික් කණ්ඩායම් තරග ඉසව්වටද සහභාගි නොවීය.
කෝවිඩ් නිසා ග්‍රීසියේ පිහිනුම් කණ්ඩායමක් ඉවතට
ග්‍රීසිය නියෝජනය කරමින් කළාත්මක පිහිනුම් ඉසව්වට සහභාගි වූ ක්‍රීඩිකාවන් සිවුදෙනෙකුට 'කෝවිඩ්-19' වෙරසය ආසානය වීම හේතුවෙන් ඔවුන්ට මෙවර ඔලිම්පික් උළෙලින් සමුගෙන යාමට සිදුව ඇත.
මෙම කණ්ඩායමේ එක් සාමාජිකාවකට වෛරසය ආසාදනය වී ඇති බව පෙරේදා (02දා) හඳුනාගත් අතර, ඉන් පසුව අනෙක් තිදෙනාට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂාවෙන් ඔවුන්ද ආසාදිත බව තහවරු විය. කෙසේ නමුත් ග්‍රීසියේ ඔලිම්පික් කමිටුව ඊයේ (03දා) නිවේදනය කළේ, ඔලිම්පික් ගම්මානයට ඇතුළු වූ පළමු දිනයේ සිටම තම කණ්ඩායමේ සාමාජිකයන් බාහිර කිසිඳු අයෙකු සමඟ සම්බන්ධ නොවූ බවයි.
ඊයේ (03දා) දිනයේදී පමණක් ඔලිම්පික් උළෙල හා සම්බන්ධ 'කෝවිඩ්-19' ආසාදිත සිදුවීම් 18ක් වාර්තා විය. ඒ අනුව පසුගිය ජූලි මස 01 වැනිදා සිට මේ දක්වා සිදුවීම් 294ක් හඳුනාගෙන ඇත.
සංජීව ධර්මසේන/ජපානයේ ටෝකියෝ නුවර සිට