2024 වසරේ බ.ඉ. කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන විස්සයි20 පිරිමි ලෝක කුසලානයේදී පෙර පැවැති අදියර දෙකට සාපේක්ෂව තරමක් වෙනස් ආකෘතියකින් තරග පැවැත්වීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) සැලසුම් කර ඇත.
අවසන් වරට පැවැති ලෝක කුසලාන ද්විත්වයේ (2021, 2022) සුදුසුකම් ලැබීමේ තරග වටයකින් තරගාවලිය ආරම්භ කර, ඉන් ජයගන්නා කණ්ඩායම් 04ක් සමගින් සුපිරි 12 හෙවත් ප්‍රධාන තරග වටය ආරම්භ විය. එහිදී කාණ්ඩ දෙකක් යටතේ කණ්ඩායම් 06ක් තරග වැද, අවසන් පූර්ව වටයට හා අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය.
කෙසේ නමුත් 2024 තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියක් නොපැවැත්වෙන අතර, ක්‍රීඩාකරන කණ්ඩායම් සංඛ්‍යාවද 20ක් දක්වා වැඩිකර ඇත. එහිදී ඔවුන් පළමු වටයේදී කාණ්ඩායම් 05 බැගින් වූ කාණ්ඩ 04ක් යටතේ තරග කරනු ලබයි. එම සෑම කාණ්ඩයකින්ම පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක බැගින් 08ක් සුපිරි 08 වටයට සුදුසුකම් ලබයි. එහිදීද කණ්ඩායම් 04ක් කාණ්ඩ දෙකකට බෙදී තරග වදිනු ලබයි. ඉන් එක් කාණ්ඩයකින් පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක බැගින් 04ක් අවසන් පූර්ව වටයටත්, අනතුරුව අවසන් මහා තරගයටත් සුදුසුකම් ලබාගනු ලබයි.
එළඹෙන ලෝක කුසලානයට කණ්ඩායම් 12ක් මේ වනවිටත් සිය ස්ථාන වෙන් කරගෙන සිටියි. ඉන් ඇමරිකාව හා බ.ඉ. කොදෙව්වන් සත්කාරක රටවල් ද්විත්වය ලෙසත්, ශ්‍රී ලංකාව, පාකිස්තානය, ඉන්දියාව, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ නෙදර්ලන්තය සමගින් වත්මන් ශූර එංගලන්තය නිමාවූ විස්සයි20 ලෝක කුසලානයේ දැක්වූ දක්ෂතා අනුවත් මේ වන විට සුදුසුකම් සපුරාගෙන සිටියි.
ඊට අමතරව ඉකුත් නොවැම්බර් 14වැනි දිනට අයි.සී.සී. විස්සයි20 ශ්‍රේණිගත කිරීම්හි 09වැනි, 10වැනි ස්ථාන හිමිකරගෙන සිටි බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය ඔවුන්ගේ ස්ථාන වෙන් කරගෙන සිටියි.